මනාල මහතාගේ පිටත් වීම
මනාල මහතා සිය ඥාති මිත්‍රාදීන් පිරිවරා ගෙන මනාලියගේ නිවසට පැමිණීම සඳහා නිවසින් පිටත් වන්නේ සුභ නැකතකට ය. මලින් සරසා අලංකාර කරන ලද මංගල රථයට ගොඩවීමට ප්‍රථම දෙමාපියන්ගේ දෙපා වැඳ අවසර ගැනීම මනාලයා විසින් සිදුකරනු ලැබේ. අනතුරුව මනාලයා සුභ නැකත් හෝරාවට එළියට බසින අතර, සිය මෑණියන් වතුර වීදුරුවකට සුදු මල් කිහිපයක් දමා සිය පුතණුවන්ගේ පෙරමඟට පැමිණෙයි. මංගල රථයට මනාලයා සමඟ දෙවන මනාලයා ද ගොඩවන අතර මනාල මහතාගේ පියා සිය ඥාති මිත්‍රාදීන් සමඟ වෙනත් වාහනයක පැමිණේ. මනාලිය කැන්දාගන ඒමට යන ගමන සඳහා මනාලයාගේ මව සහභාගි වන්නේ නැත.
මනාලයාගේ පැමිණීම
මනාලියගේ නිවස අභියසට පැමිණෙන මනාලයා ප්‍රමුඛ පිරිස පිළිගැනීමට මනාලියගේ ඥාතින් සූදානම්ව සිටින අතර මනාලයාගේ පියා සිය පිරිසගේ ප්‍රමාණයට බුලත් හුරුල්ලක් සකස්‌කර මනාලියගේ ඥාතීන්ට පිරිනමා මනාල මහතා ප්‍රමුඛ ඥාතීන්ට නිවසට පැමිණීම සඳහා අවසරය පතයි.
අතීතයේ දී මේ සඳහා වෙනත් චාරිත්‍ර ක්‍රම පැවතී ඇත. මනාල මහතා ආරම්භයේ සිටම විවිධ තහංචි බිඳගන පැමිණිය යුතුය. විවිධ ප්‍රදේශවලට ආවේණික තහංචි කවි පැවතුණ බව ද කියවේ. පනවා ඇති තහංචි පිළිබඳව මනාලයාට දැනුම් දෙන තහංචි කවියෙකි මේ.
වත්තේ සිව්කොන කවුළු තහංචි
මඩුවත් ඇඳ පුටු වියන් තහංචි
සහයෙන් කෙතලේ කෙන්ඩි තහංචි
මෙ මඟුල් ගෙදරට එන්න තහංචි
ඒ සඳහා මනාල මහතාගේ පාර්ශවයෙන් තහංචි හැරීමේ කවියක් ප්‍රකාශ කළ යුතුය.
මේ එලෙස ප්‍රකාශ කළ පිළිතුරු කවියකි.
සිටිනා වත්තේ කඩුල්ල ගාවා
වෙසන දේවතාවෝ මුර පෑවා
ලොවීතුරු මුනි බලයෙන් බල පෑවා
සරණ බලෙන් මම මිදුලට ආවා
මෙවන් කවි ඕනෑ තරම් දැකිය හැක. සමහර වියතුන් තහංචි කවි පිළිබඳව වෙනමම පර්යේෂණ ග්‍රන්ථ සම්පාදනය කර ඇත. නමුත් වර්තමානයේ ඒ වගේ චාරිත්‍ර සිදුනොවන අතර එවැන්නක් ඉටු කිරීමට තරම් කාලයක් ද මංගල උත්සවයේ දී දැකිය නොහැක.
මල් කළඹ පිළිගැන්වීම
මල්කළඹ පිළිගැන්වීම සිදු කරන්නේ දෙවන මනාලයා විසින්ය. මංගල රථයෙන් ප්‍රථමයෙන් එළියට බසින දෙවන මනාලයා මල් කලඹ රැගෙන මනාලියගේ නිවසට පැමිණෙන අතර, මනාලියට මල් කළඹ බාර දී නැවත පිරිසට එකතුවීම සිදුකරයි.
පුරාණයේ සිට කාන්තාවක් ගමනක් බිමනක් යනවිට දී තමන්ගේ අත පාලුව සඳහා යමක් අතේ ගෙනයෑම සිරිතකි. එම සිරිත මංගල ගමනේ දී මල්කළඹ දක්‌වා වර්ධනය වී ඇත. වර්තමානයේ මල් කළඹ මංගල උත්සවයේ දී ප්‍රධානතම අංගයකි.
පාවාඩ එළීම
මනාලයාට පැමිණීම සඳහා පාවාඩයක් එළීම ද පැරණි සිරිතකි. තම ප්‍රදේශයේ රාජකාරි ඉටුකරන රජකයා නොහොත් හේනේ මාමා විසින් මෙම කාර්ය ඉටු කරනු ලබයි. මනාල මහතා විසින් පාවාඩය එලන ලද රජකයාගේ සිත සතුටු කිරීම පිණිස යම් මුදලක් පාවාඩය මතට හෙළීම සිදුකරයි. එය පාවාඩ මස්‌ස ලෙස හැඳින්වේ.
දෙපා සේදීම
මෙම චාරිත්‍රය ඉටු කරන්නේ මනාලියගේ බාල මළනුවන් විසිනි. ඥාති පිරිවර සමඟ තම නිවසට පැමිණෙන මනමාලයාගේ දෙපා සෝදා ගෙට ගැනීම පැවතුණ සිරිතය. වර්තමානයේ එකල මෙන් දෙපා සේදීමේ අවශ්‍යතාවයක් මතුවන්නේ නැත. ඇතැම්හු මෙය බොළඳ ක්‍රියාවක් ලෙස හුවාදැක්‌වීමට උත්සාහ දරන්නේ ද එහෙයිනි. නමුත් චාරිත්‍රයක් හැටියට මේවා පැවතිය යුතුයයි සිතමි. වර්තමානයේ සංකේතයක් හැටියට පාවහන් වතුර බිංදු කීපයකින් පිසදමන අතර දෙපා සෝදා බාල මස්‌සිනාට රං මුදුවකින් සංග්‍රහ කිරීමට මනාල මහතා අමතක නොකරයි.
පිළිගැනීමේ ගීතය
අනතුරුව බාලිකාවන් විසින් මනාලයා ප්‍රමුඛ ඥාතීන් පිළිගැනීම සඳහා පිළිගැනීමේ ගීතයක් ගායනා කිරීම වර්තමානයේ පැවැත්වෙන තවත් සිරිතකි.
ඥාතීන් පිළිගැනීම
සිය නිවසට පැමිණෙන අලුත් බෑනණුවන් ප්‍රමුඛ ඥාතීන් බුලත් හෙප්පුවක් අතැතිව හෝ ආයුබෝවන් කියා පිළිගැනීම මනාලියගේ දෙමාපියන් විසින් සිදු කෙරේ. එම ඥාතීන් පිළිගෙන සුදුසු ලෙස අසුන් ගත්තාට පසුව කාලවේලා ඇති පරිදි තේ පැන් සංග්‍රහයක් පිළිගැන්වීම පෙර දී පැවතුන ද වර්තමානයේ එය ක්‍රමයෙන් බැහැර වන ලකුණු පෙනෙන්නට ඇත.
මනාලිය සූදානම් කිරීම
අතීතයේ සිය දියණිය මනාලිය ලෙස සැරසීම සිය මෑණියන්ගේ කාරියකි. එහෙත් වර්තමානයේ සිය දියණියගේ මංගල සාරිය තේරීමේ අයිතිය පවා මෑණියන්ට අහිමිවී ඇත. මුළු මංගල සාදයම රූපලාවන්‍ය ශිල්පීන්ට සහ ඡායාරූප ශිල්පියාට බාරදී ඇති සෙයකි. චාරිත්‍ර ඉටුකරන්නේ නොකර බැරි නිසාවෙන් වන්නට ඇතැයි අපට සිතේ. මනාලියන් හිස මත වේලය තැබීම මෑණියන් විසින් ඉටුකරන චාරිත්‍රයකි. එහෙත් එම චාරිත්‍රය පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැතිව ඉටුකරන බව සිතිය හැක. මනාලියගේ මුහුණ පේස් වේලයකින් ආවරණය කිරීමද එවැන්නකි. ලන්දේසි යුගයේදී විවාහය ලේඛණගත කළේ පල්ලියේ දීය. විශේෂයෙන් පහතරට විවාහය නීත්‍යානුකුල කිරීම සඳහා අත්සන් තැබීමට පල්ලියට අනිවාර්යයෙන් ම යායුතුව තිබිණ. නමාලිය ජේසුස් වහන්සේට පමණක් පෙනෙන ලෙස අන් අයට නොපෙනෙන ලෙස සුදු වේලයකින් මුහුණ වසාගෙන පල්ලියට පැමිණීම එකල නීතියයි. නීති&`නුකුලව විවාහයට අත්සන් තැබීමෙන් අනතුරුව පේස් වේලය ඉවත්කර ඥාතීන් ඉදිරියට යෑම එකල සිදුවිය. ඒ පල්ලියේ සිරිතය.
1906 සිට මේ තත්වය ක්‍රමයෙන් වෙනස්‌වී ඇතත් බෞද්ධ අපි තවමත් පේස් වේලය දැමීම සිදු කරන්නෙමු. මෙය මනාලියට අන්දවන අය කරුණු නොදැන කරන කටයුත්තකි. මෙම චාරිත්‍රය ඉටු කරන්නේ සාරියක් අන්දන මනාලියට පමණී. ඔසරිය අදින උඩරට මනාලියට මෙය බලපාන්නේ නැත. සිංහල බෞද්ධ අප අපගේ අනන්‍යතාව මතුවන ලෙස චාරිත්‍ර ඉටු කරන්නේනම් ඉතා වැදගත් ය.
මංගල පෝරුව
චාරිත්‍ර ඉටු කරණ මහත්මා විසින් නැකැත් වෙලාවට ප්‍රථම පෝරුව චාරිත්‍රානුකුලව සකස් කර ගත යුතුය. පුරාණයේ සිට පැවැත එන ආකාරයට නම් පෝරුවට උඩුවියනක් ද බැඳිය යුතුය. පෝරුව සිව් කොනෙහි කලස් තබා, ඒ මත මාරුක් මල් නැතහොත් පොල් මල් බහා, මැටි පහන් සතරක් තැබිය යුතුය. ඒ සතර වරම් දෙවියන් උදෙසාය. අනතුරුව පෝරුව මතුපිට සුදු රෙද්දක් එළා ඒ මතට නොපෑගෙන ලෙසට කැකුළු සහල්, ලද පස්‌මල්, බුලත්, පඬුරු ආදිය ඇතිරිය යුතුය.
දකුණු පළාතේ නම් මෙය තරමක් වෙනස් ආකාරයට ඉටුකරනු දැකිය හැක. පෝරුව මතට පැදුරක් එළා ඒ මත සුදු පිරුවටය අතුරා කැකුළු සහල් සහ ලද පස්‌මල් අතුරන්නේ ඒ මතය. තවද මෝල් ගහක්, පොල් ගෙඩි හතරක්, පෝරුව මත තැබීම සිදු කෙරේ. පුරාණයේ නම් කිරිබත්, කැවුම්, කෙසෙල්, තැඹිලි ආදිය පෝරුව මත ඇතිරූ බව ද කියවෙයි.
මෙසේ පෝරුව සකස් කිරීම ද අද අපට විවිධාකාර ලෙස දක්‌නට ලැබේ. පෝරුව මත සියළුම මංගල සම්මත වස්‌තුන් අතුරා සශ්‍රීකත්වය, සෞභාග්‍යය සංකේතවත් කළ බව පැහැදිලිය. සිංහල සංස්‌කෘතික ලක්‌ෂණ ඉස්‌මතුවන ලෙස මෙම චාරිත්‍ර ඉටු කිරීම එම කටයුතු ඉටුකරන මහත්වරුන් වෙත පැවරෙන වගකීමක් ය. චාරිත්‍ර ඉටුකරන මහත්මා කරුණා, මෛත්‍රී පෙර දැරිව එම කාර්යය ඉටුකළ යුතුය. මනාල යුවළද බාහිර උසුළු විසුළුවලින් වැළකී, පෝරුවේ චාරිත්‍ර සඳහා ගෞරවයෙන් සහභාගි විය යුතුය.