විවාහ මංගල්‍යය (පානිග්‍රහණ සංස්‌කාරය)
 

සහකරුවා හෝ සහකාරිය තෝරාගැනීම


පුද්ගල ජීවිතයේ දෙවන උසක ලෙස විවාහය සැලකිය හැකිය. මූලික පවුලෙන් වෙන්ව වෙනත් පවුලක්‌ බිහි කිරීමේ මූලික අදියර විවාහයයි. විවාහය පිළිබඳව කථා කිරීමේ දී විවාහ වීමට ප්‍රථම සිදු කරන යම් යම් සම්මත චාරිත්‍ර පිළිබඳව ද කථා කළ යුතුය. එසේ කථා කිරීමේදී ප්‍රථමයෙන් අප සිහියට නැඟෙන්නේ සහකරුවෙකු හෝ සහකාරියක තෝරා ගැනීමයි.
ප්‍රථමයෙන් ම තම දරුවන්ට සහකරුවෙකු සහකාරියකු සොයා ගැනීමට වෙහෙසෙන්නේ දෙමාපියන්ය. ඒ ඔවුන්ගේ යුතුකමක්‌ වන බැවිනි. එහෙත් වර්තමාන සමාජයේ තමන්ගේ සහකරුවා හෝ සහකාරිය තමන් විසින් ම සොයා ගැනීම අද බහුලව සිදුවන්නකි. අතීතයේ දී සහකරු හෝ සහකාරිය තෝරා ගැනීම තමන් විසින්ම කරන ලද අවස්‌ථා වෛදික සහ සංස්‌කෘත සාහිත්‍යයේත් දැක්‌වේ. කාලිදාසගේ රඝූවංසයෙහි මෙය හදුන්වා ඇත්තේ ස්‌වයංවරය යනුවෙනි. බෞද්ධ සාහිත්‍යයේ ද ඒ අන්දමින් ම දැක්‌වේ. යශෝධරාව සිද්ධාර්ථ කුමරු තෝරා ගත්තේ ද, පබාවතී කුස රජ තෝරා ගත්තේ ද ස්‌වයංවරයෙනි. මහා භාරතය කතා සරිත් සාගරය වැනි කාව්‍ය ග්‍රන්ථයන්හි මෙබදු ස්‌වයංවරයන් පිළිබඳව නොයෙක්‌විට දැක්‌වේ. පැරණි චාරිත්‍ර විධි විමසීමේ දී එහි යම් වෙනසක්‌ පෙනුන ද ජීවිතය පිළිබඳව සහ දෙදෙනා පිළිබඳව
අවබෝධයකින් සහ හදුනාගැනීමෙන් සිදුවන විවාහය ද සාර්ථක විවාහයක්‌ බව කිව යුතුය.


තමන් තෝරාගත යුත්තේ කිනම් ස්‌ත්‍රියක්‌ ද පුරුෂයෙක්‌ ද යන්න පිළිබඳව පඬිවරුන් විවිධාකාරයට අදහස්‌ දක්‌වා ඇත. ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ ද විවිධ සූත්‍ර දේශන වලදී නොයෙක්‌වර අදහස්‌ දක්‌වා ඇත. ඒ පිළිබඳව බුදුන් වහන්සේ ද විවිධ සූත්‍ර දේශන වලදී නොයෙක්‌වර අදහස්‌ දක්‌වා ඇත. අංගුත්තර නිකායේ තෘතීය අට්‌ඨමක සූත්‍රය ද සංවාස සූත්‍රය වැනි සූත්‍රයන්හි විවාහය පිළිබඳව සඳහන් කර ඇත.

සංවාස සූත්‍රයේ දී විවාහ සතරක්‌ පිළිබඳව කරුණු දක්‌වා ඇත. එනම්,
1. පෙරේතියක්‌ පෙරේතයෙක්‌ සමඟ විසීම.
2. පෙරේතියක්‌ දිව්‍ය පුත්‍රයෙක්‌ සමඟ විසීම.
3. දෙව් දුවක්‌ පෙරේතයෙක්‌ සමඟ විසීම.
4. දෙව් දුවක්‌ දිව්‍ය පුත්‍රයෙක්‌ සමඟ විසීම.
යනුවෙනි. මෙසේ බලන කල විවාහය පිළිබඳව අප කෙතරම් කල්පනාකාරි විය යුතුදැයි පැහැදිලිය. බාහිර අඟ පසඟ දෙස බැලීමෙන් පමණක්‌ සහකරුවෙකු සහකාරියක තෝරා නොගත යුතු බව @ජ්‍යාතිෂයේ ද සඳහන් කර ඇත. @ජ්‍යාතිෂයේ ස්‌ත්‍රී වර්ග හතරක්‌ පිළිබඳව කරුණු දක්‌වා ඇත. සස, මුව, සංඛිනී, හස්‌තිනී යනුවෙන් ස්‌ත්‍රී වර්ග සතරක්‌ පිළිබඳව ද කරුණු දක්‌වා ඇත.ඒ පිළිබඳව දීර්ඝ ලෙස විස්‌තර සඳහන් කර ඇතත්, කරුණු කෙටිකර අදහස ඉස්‌මතු වන ලෙස රචනා වී ඇති පැරණි කවි කිහිපයක්‌ මෙසේ දැක්‌විය හැක.

ස්‌ත්‍රී වර්ග සතරකි.


පද්මිනී -
පියුම් උවන ලස්‌සන වෙර උපුල් නෙතුය උසමිටි නැති
උතුම් ගුණැති සැදැහැ කිදුරු කීම රතිය බෝ නොකැමති
මුවන් නෙත්සෙ බැලූ බැල්මෙන් දුටුදන තුටුවෙති කුළුණැති
ගමන් හසක්‌ සේය මෙවන් ගුණැති ඉතිරි "පියුම්" නමැති


චිත්‍රනි -
දැකුම්කලුය සිතුයම සේ - දිවිසේ පතිවතට කැමති
දෙමාපියන් වැඩිහිටියන් අගයන මද රතියට රුති
ගුණෙන් යුතුය දමිටුය නොකිපෙන පරපුරිසන් නොකැමති
මෙවන් "සිත්නි" බිරිඳක්‌ ලදහොත් සුරසැප නොවේය රුති


සංඛිනි -
තදින් දොඩයි, වදන රළුය, දික්‌ව වැඩුණු කෙස්‌වැටි ඇති
ගතින් උස මහත නිතර පරපුරිසන් සසඟ කැමති
ඔවුන් ගුරුන් නොමසලසයි සැණෙන් කාම අදහස්‌ ඇති
කියන්නේ වියතුන් "සකි" වරිගයේ ගෑණු ඇත මේ ගති


හස්‌තිනි -
ගඳින් සුරා යුතුය සිරුර රතුනෙත් හිසකෙස්‌ අඩුවෙති
වතින් සනහ ලස්‌සන ගත දැඩි රාගිය නපුරු හිතැති
නිතින්ම පරපුරිස්‌ කැමති වැඩිහිටියන් හට නැත රුති
"ඇතින්නි" වන ඉතිරිය සිය පත් සේ ඉදුමටය කැමති


පුරුෂ වර්ග සතරකි


සස
රතින් මුලා නැතිය ටිකෙන් තුටුවෙයි මද්දිම උස ඇති
මවුන් පියන් හිතැති ගුණැති සැදැහැති සිල්වත් ගති ඇති
ගුණෙන් මුදුය පර අඹුවන් නොරිසි අහිංසක ගුණ යුති
මෙවන් ගුණැති පුරිස්‌ තෙමේ "සස" වගවේ පඬිහු කියති


මුව
මුවන් සෙ සල පතල සූර කඩිසර ලෙලදෙන ගමනැති
තුටින් සෙනෙන් කල්යවනා නැටුම් ගැයුම් වලට කැමති
උතුම් මුනිදු දහම් ලෙසට පවතින රස අහරට රුති
ගුණෙන් යුතුය අමුත්තන්ට සලකයි "මුව" වගයේ ගති


වෘෂභ
බලෙන් යුතුය තරබාරුය, සිරුර මිටිය දික්‌ වූ දිවැති
ගොනුන් සේ ආහරද බුදින පැතැලි සිරුර දනට කැමති
දරුන් බොහෝ ලබයි පරඹ කැමතිය රතියට වේ රුති
ඉතුන් කෙරේ තුටින් ලබයි "ගෝ" වග පුරිසන්ගේ ගති


තුරඟ
සවන් මහත තරබාරුය-තදපැහැ සුවිසල් ගත ඇති
ටිකෙන් නින්ද සතුටුවේය මෙරමා දොස්‌ කියනු කැමති
කියන්නෙ බොරු දුටු වියෝග කරුවෙකි රතියට වනරුති
ලෙසින් සෑම ඉතිරින්ටම කැමති තුරඟ වරිගේ ගති


පොරොන්දම් බැලීම


මනාලයා හෝ මනාලිය හඳහන නැතහොත් වේලපත්කඩයේ පිටපතක්‌ ගෙන ගොස්‌ සුදුසු නක්‍ෂත්‍ර කරුවකු ලවා දෙදෙනාගේ පොරොන්දම් විමසා බැලීම දෙමාපියන්ගේ යුතු කමකි.
මෙහිදී සිදු කරනු ලබන්නේ දෙදෙනාගේ පොරොන්දම් ගැලපේදැයි විමසා බැලීමයි. පොරොන්දම් යනු විවාහයේ පැවැත්ම පිළිබඳව සොයා බලන යම්කිසි විද්‍යාත්මක පරීක්‌ෂණයක්‌ ලෙස ද සැලකිය හැක.


පවුල බලන්නට යෑම


විවාහය තීරණය කිරීමට ප්‍රථම මනාල පාර්ශවයෙන් මනාලියගේ නිවසට පැමිණීම සිදුවෙයි. එය "පවුල බලන්නට යෑම" නැතහොත් "බත බුලත් කෑම" යනුවෙන් ද වැඩිහිටියෝ සලකති.
මනාලියගේ මව විසින් සිය දියණිය මනා ලෙස සරසා බුලත් හෙප්පුවක්‌ අතට දී නමාල මහතා ප්‍රමුඛ ඥාතීන්ට ආචාර කිරීම එදා සිට පැවත එන සිරිතයි.
මනාලියගේ වත් පොහොසත් කම් මැන බැලීමට ද බුලත් හෙප්පුව උපයෝගි කර ගත් බව දක්‌නට ඇත. බුලත් හෙප්පුව අවශ්‍ය සියළුම කළමනාවන්ගෙන් පරිපූර්ණ නම් එම පාර්ශවය වත්පොහොසත් වැදගත් අය ලෙස සැලකීමට අපේ පැරැන්නන් පුරුදු වී ඇත. හෙප්පුව නැතහොත් ඉලත්තට්‌ටුව රැගෙන මනාලයාගේ ඉදිරියට එන මනාලියගේ චරිතය ක්‍රියා කලාපය පිළිබඳව යම් නිගමනයකට එළඹීමට ද පැරැන්නන් පුරුදුව සිටිය බව පෙනේ.
බුලත් හෙප්පුව පිළිගන්වන තරුණිය සෘජුව සබකොලයකින් තොරව ඉලත්තට්‌ටුව පිළිගැන්වූයේ නම්, ඇය නොහික්‌මුණු, වැඩිහිටියන්ට අවනත නොවන, හිතුවක්‌කාර, තරුණියකි. තරුණයා දෙස අහංකාර ලෙස ගරු සරුවකින් තොරතව ඉලත්තට්‌ටුව පිළිගැන්වූයේ නම් ඇය වදක භාරියක්‌ ලෙස ද සැලකේ. යහපත් ව සංවරශීලිව ඊට ගැලපෙන අයුරින් සැරසී හිස නමා දෑතින්ම ඉලත්තට්‌ටුව පිරිනමන තරුණිය යහපත් ගුණගරුක, සංවරශීලි හික්‌මුණු සිරිදෙව් දුවට සමකළ කුල කුමරියකි.


නැකත් සකස්‌ කිරීම


මනාල මනාලියන් මෙන්ම දෙපාර්ශයේ තත්වය එනම් ආගම, ධනය, කුලය, බලය, හැදියාව ආදිය ගැලපේ නම් දේපාර්ශයම කථිකා කර නැවත @ජ්‍යාතිෂ්වේදියකු ලවා විවාහ මංගල්‍යයට සුදුසු නැකැත් වේලාවක්‌ සකස්‌ කර ගැනීම සිදු කෙරේ. විවාහය සඳහා සුභ නැකත් සකස්‌ කිරීමෙන් පසු නැකත් පත්‍රය මනාලියගේ පාර්ශවයට බාරදීම සඳහා ද දිනයක්‌ යොදා ගැනීම සිරිතකි. නම් දීම, නැකත් බාර දීම, ආදී වෙනත් නම් වලින් ද මෙය හැඳින්වෙන අතර වර්තමානයේ චාරිත්‍රයක්‌ ලෙස නොව මෝස්‌තරයක්‌ ලෙස මෙම කටයුත්ත ඉටු කරනු දැකිය හැක.

(c) Shilpa Sayura Foundation 2006-2017