මල්වර මංගල්‍යය (උපනයන සංස්‌කාරය)
 

අවුරුදු දහය, දොළහ, දාහතර යන වයසේ දී දැරියක්‌ මල් වර වීම සිදුවන බැව් @ජ්‍යාතිෂයේ සඳහන් කර ඇත. සමාජ මානව විද්‍යාඥයින් පවසන්නේ ගැහැණු දරුවකු ගේ ජීවිතයේ ප්‍රබලම අවස්‌ථාව වැඩිවියට පත්වීම බවයි.
මල්වර වීම, කොටහළු වීම, පිල ගොඩවීම, ගෙටවීම, වැඩිවියට පත්වීම යනුවෙන් පැරැන්නන් හැඳින්වූයේ දැරියකගේ මේ ස්‌වභාවික ශරීර විපර්යාසය ය.


දැරියක්‌ මල්වර වීම දැනගත් මොහොතේ ම නැකැත් කරුවකු සොයා යන දෙමාපියන් මල්වර ඵල විමසීම සිරිතයි. මල්වර වූ යුවතිය නැකැත් වෙලාවකින් ගෙට කිරීම යනුවෙන් චාරිත්‍රයක්‌ ඇත. එය ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද දැකිය හැකිය. මල්වර වූ බව දැනගත් මොහොතේ ම රබන් ගසා එය ගමට සංනිවේදනය කිරීමේ සිරිතක්‌ සමහර ප්‍රදේශවල තවමත් පවතී.
මල්වර වීම යනුවෙන් හැඳින්වෙන්නේ දැරියකගේ ගර්භාෂය දරුවන් බිහිකිරීම සඳහා ස්‌වාභාවිකව සකස්‌ කිරීමයි. පළමු සෘතුවීම ඔසප්වීම යනුවෙන් ද මල්වරය හැඳින්වේ.

@ජ්‍යාතිෂයේ සඳහන් කරන ආකාරයට වයස අවුරුදු 10 ට අඩු මල්වරය ශුභ පල අඩුවන බව සඳහන් කර ඇත. විවිධ රෝගාබාධ නිසා වයස අවුරුදු 14 ඉක්‌මවා මල්වර වන අවස්‌ථා ද ඇත. එය ද එතරම් ශුභ ඵල දායක නොවේ.
මල්වරය මංගල්‍යයක්‌ ලෙස සැලකුව ද මල්වරය ප්‍රබල කිල්ලක්‌ ලෙස පැරැන්නෝ විශ්වාස කළහ. මල්වර දැරියක්‌ ගෙට කිරීමේ චාරිත්‍රය අනුව තම නිවසට පිටින් කුඩා නිවසක්‌ තනා නැකැත් වේලාවක්‌ අනුව දැරිය ගෙට කිරීම සිදු කරන අතර එහි තනියට වෙනත් කාන්තාවක්‌ නැවතීම සිදු කරයි.


@ජ්‍යාතිෂය අනුව මල්වර වී තෙවැනි, සිව්වැනි හෝ පස්‌වැනි දිනයේ දී දැරිය ස්‌නානය කරවීම සිදු කළ යුතුය. එහෙත් වර්තමානයේ මංගල සාද සංවිධාන කර ගැනීමේ උවමනාව මත සතිය හමාර දැරිය ගෙටකර තබනු දැකිය හැක. දැරිය හිස දිය වත්කිරීම සඳහා කිරිගසක්‌ අභියස සූදානම් කළ යුතුය. ප්‍රථමයෙන් දැරිය නහවන්නේ ඖෂධ කළයකිනි.
නැවුම් මැටි කළයක්‌ ගෙන, එම කළයට වෙනිවැල්ගැට, සමන්කැකුළු, සුවඳකොට්‌ටම්, ඊතණ, සපුමල්කැකුළු, අමුකහ, වදකහ, කලාදුරු, ජටාමාංශ යන ඖෂධ එක්‌කොට උතුරා නිවාගත් ජලය සමඟ මුසුකොට දැරිය නැහැවිය යුතුය. එසේ නැහැවීමෙන් අනතුරුව මේ සියළු වස්‌දොස්‌ දුරුවීම සඳහා එම කළය බිඳ ප්‍රථමයෙන් කිරිගස දෙස බැලීම සිරිතය. දැරිය නැහැවීම සිදු කරන්නේ කවුරුන්ද යන්න බොහෝ අයට මතුව එන ප්‍රශ්නයකි. ඒ සඳහා රජකකුල ස්‌ත්‍රියක්‌ යොදාගැනීම සිදු කළත් එසේ කළ යුතුයැයි නියමයක්‌ නොමැත. දැරියගේ මව හෝ මව නොමැති නම් දරුවන් ඇති පවුලේ වැඩිහිටි ඥාතියෙක්‌ මෙම කාර්ය සිදුකළ යුතුය.

අදාළ දිනට හිමි ග්‍රහයාට අයත් වර්ණයෙන් සැකසුන අළුත් ඇදුමකින් සරසවා දැරිය නිවසට රැගෙන ඒම සිදු කරයි. දැරිය දොරට වඩිනා උත්සවය සමහර ප්‍රදේශවල හැළි මඟුල යනුවෙන් හදුන්වනු ලබයි. දැරිය නැහැවීමෙන් අනතුරුව දැරිය ගෙට කර තැබූ පැල කඩා ගිනි තැබීම කරන අතර එසේ කරන්නේ සියළු ඇස්‌වහ, කටවහ, දෝෂ වස්‌දොස්‌ දුරුවීම සඳහාය. මෙම චාරිත්‍රය වර්තමානයේ දැකිය නොහැක.

දැරිය ගෙට කැඳවාගෙන එන මාවත හැඳින්වූයේ සඩංගම් වීදිය නමිනි. කෙසෙල් කැන්, පලතුරු, වී, සහල් ආදිය දෙපසේ එල්ලා හෝ අතුරා තැබීමෙන් සංකේතවත් වන්නේ සශ්‍රීකත්වය යි. අපේ පැරණි කෘෂි ශිෂ්ඨාචාරය මෙයින් මොනවට පැහැදිලි වෙයි. දැරිය ගෙට ගොඩවන දොරකඩ ලඟ පොල් ගෙඩියක්‌, පැදුරක්‌, කණ්‌නාඩියක්‌, පනාව හා වතුර බදුන ඇයට දැකුම් පිණිස තැබීම සිරිතයි. දැරියට තෑගි බෝග භෝග දී සිය නැන්දා විසින් පිළිගන්නා අතරතුර ගෙයි මැද පැදුරක්‌ එළා ඒ මත නොවිසුරුණු පොල් මලක්‌ සහිත කළයක්‌ (පිරුණු කළයක්‌) පුන් කලසක්‌ සහ පොල්තෙල් පහනක්‌ සූදානම් කළ යුතුය. පුන්කලස ඒ වටේට කිරි සහිත ආහාර සූදානම් කර තබයි. දැරිය පොල්මල විවර කර දේවතාවුන් සිහිකර කිරිබත් අනුභව කිරීමෙන් අනතුරුව දෙමාපියන් සහ නැදෑයින්ට බුලත් හුරුල්ලක්‌ දී දෙපා වැඳ අවසර ගැනීම සිරිතයි.

වැඩි වියට පත් වූ පසු ඇය සමාජයේ වගකීම් රාශියක්‌ බාරගන්නා තැනැත්තියක්‌ බවත් කාන්තාවනට සමාජයේ හිමි භුමිකාව මෙහි දී භාරගත යුතු බවත් තමා දැන් ළමයකු නොව, වැඩිහිටි කාන්තාවක්‌ බවත් තීරණය කරන ප්‍රධාන සංධිස්‌ථානය මල්වර මංගල්‍යය බව පැහැදිලිය.

(c) Shilpa Sayura Foundation 2006-2017