කන් විදීමේ මංගල්‍යය (කර්ණ වේදන සංස්‌කාරය)
 

ගැහැණු දරුවන් උදෙසා ඉටු කරන තවත් චාරිත්‍රයකි කන් විදීම. සුදුසු නැකැත් වෙලාවක්‌ සහ සුභ දිශාවක්‌ ඒ සඳහා යොදා ගැනීම සිරිතයි. දරුවාට මාස පහත් - හතත් අතර කාලය තුළ මෙම චාරිත්‍රය ඉටු කළ යුතු බව කියවේ. කන් විදීම ඒ සඳහා දැනුම් තේරුම් ඇති වැඩිහිටියෙක්‌ වෛද්‍යවරයෙක්‌ විසින් කළ යුතු ය.


කර්ණ වේදනය ආයුර්වේදයේ වැදගත් චිකිත්සක ක්‍රමයකි. කන්පෙත්ත පිරිසිදු කර, පිරිසිදු කටුවකින් කන් විදීම සිදු කරයි. වසරක්‌ පමණ ගතවන තුරු කර්ණාභරණ පැළදීම වෙනුවට කරපිංචා නැට්‌ටක්‌ කරාබු මලෙහි සිහින් නැට්‌ට හෝ කොහොඹ ගසෙකින් සකස්‌කරගත් කුරක්‌ පැළදීම සිදු කරයි.

කන් පෙත්තේ ඉතාමත් තුනී ස්‌ථානයක්‌ ස්‌වාභාවිකම පිහිටා ඇති අතර, එය දෛවකෘත ජීද්‍රය ලෙස හදුන්වනු ලබයි. නිසිලෙස එම නිලමය ස්‌ථානය විදුනු කළ රුධිරය පිරවීමක්‌ හෝ කන්පෙත්ත පැසවීමක්‌ සිදු නොවන බව ආයුර්වේදයේ සඳහන් කර ඇත.
එයින් අදහස්‌ කරන්නේ දරුවාගේ කන්පෙති පැසවීම එමගින් වැලකෙන බවයි. සමහර ප්‍රදේශවල පැරැන්නන් කනෙහි පළඳවන කරාබු නැටි හෝ කරපිංචා නැටි දෙවියන් ඉදිරියෙහි තබා පේ කරගත් බවට ද මතයක්‌ පවතී. එයින් අදහස්‌ වන්නේ දරුවාට ඇස්‌වහ - කටවහ වස්‌ - දොස්‌ ඇතොත් එමගින් එමදොස්‌ පහව යන බවයි.

වර්තමානයේ නම් මෙම චාරිත්‍රය මෙයට වඩා ඉදුරාම වෙනස්‌ ස්‌වරූපයක්‌ උසුලයි. ගමේ වෛද්‍යවරයාට නැකැත් වේලාව කළින් මතක්‌කර දරුවාගේ කනෙහි පළඳවන රන් කරාබුවෙන් ම දරුවාගේ කන විදීම සිදු කරයි. පෙරමෙන් කරපිංචා හෝ කරාබුනැටි පැළැඳවීමක්‌ වර්තමානයේ දක්‌නට නොමැත. කෙසේ වෙතත් කන් විදීමේ මංගල්‍යය ගැහැණු දරුවකුගේ ජීවිතයේ සුවිශේෂි අවස්‌ථාවක්‌ ලෙස සැලකිය හැකිය.

"කණ විදින වෙලේ කදුළු ගඟේ පතුල බැලූ දූ
 අද සතුටු ගඟේ කිමිදෙනවා දාල කරාබු......"

(c) Shilpa Sayura Foundation 2006-2017