පුරාණයේ පවුල් සංස්‌ථාව තුළ කාන්තාවකට හිමිව තිබුණේ සුවිශේෂි ස්‌ථානයකි. සිය විවාහයෙන් පසුව ගැබ් ගන්නා කාන්තාව නිවස කළඑළි කරන ශ්‍රියා කාන්තාවක් සේ පැරැන්නෝ සැළකුහ.
බෞද්ධ සාහිත්‍ය තුළද මේ පිළිබඳව දැක්‌වෙන කතාන්තර අපට දැකගත හැකිය. ධම්ම පදට්‌ඨ කතාවේ සඳහන් වන වනවාසී තිස්‌ත තෙරුන්ගේ වස්‌තුවෙහි ගබ් පෙලහැර යනුවෙන් සඳහන් කර ඇත. සිය බිරිඳ තම ආරක්‌ෂකායා වන ස්‌වාමියාට තමා ගැබ්ගෙන ඇති බව දැන්වු පසු සැමියා බිරිඳට ඉටු කළ යුතු යුතුකම් සම්භාරය ගබ් පෙලහැර යනුවෙන් හැඳින්විය හැක.
අධික උෂ්ණය, අධික ශීත, ඉතා ඇඹුල් ආහාර වලින් වැළක්‌වීම, සතුටින් සැනසිල්ලේ සිටින්නට බිරිඳට අවස්‌ථාව සළසා දීම ස්‌වාමියා බිරිඳ වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම්ය. සිය සැමියා, මවත්, ම් කුස සිටින දරුවන් ආරක්‌ෂා කළ යුතුය. එපමණකුදු නොව, ගැබිණි මවට ප්‍රිය තෙපුලින් හා බණ දහම් ඇසීමට ද ඉඩ කඩ සලසා දීම සැමියාගේ යුතුකමකි.
ගබ් පෙලහැර දීමේදී ඇය වෙනුවෙන් ඉටු කළ යුතු තවත් කටයුත්තක් නම්, ඇයගේ දොළදුක සංසිඳවීමයි. මිණික්‌පාල කුමරියට ඇති වු දොළදුක සංසිඳවීම සඳහා නා රජු විසින් මනුලොවට බුලත රැගෙන ආ බව ඉතිහාසයේ සඳහන් ය.
ගැබ් ගත් බිරිඳ ඉතා ආදරයෙන් රැකබලා ගත්, ආරක්‌ෂා කරගත්, සිය ස්‌වාමියා ඇගේ කුසට මාස හතක් ගිය තැන චාරිත්‍රානුකුලව බිරිඳ සිය දෙමාපියන් වෙත ඇරලවීම කළ යුතුය. වැඩිහිටි ඥාතීන් මෙම චාරිත්‍රය ඉටු කරන්නේ සුභ හෝරාවකිනි. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය උදෙසා මල්, පහන් පූජා කර වැඩිහිටි ඥාතීන්ගේ ආශිර්වාදය මැද ඉතාමත් ආරක්‌ෂාකාරී ලෙස බිරිඳ සිය දෙමාපියන් වෙත ඇරලවන අතර පැරැන්නන් මෙම චාරිත්‍රය ද සලකනු ලබන්නේ මංගල්‍යයක් ලෙසිනි. දරු ප්‍රසුත්‍රිය දක්‌වා වන ඉතිරි මාස කිහිපය සිය දෙමාපියන් සෙවනේ ගත කරන අතරතුර ද විවිධ උපචාරවිධි ඉටු කිරීම සිරිතකි. විශේෂයෙන් දකුණු ප්‍රදේශයේ සහ නුවර කලාවියේ මෙවැනි උපචාරවිධි සඳහා විශේෂත්වයක් උසුලයි.
සිත සතුටු කරන සිත සැහැල්ලු කරන මෙවැනි උපචාරවිධි, චාරිත්‍ර වාරිත්‍ර මිනිස් සමාජයේ සාරධර්ම ගුණධර්ම සුරැකීමට බෙහෙවින් ඉවහල් වී ඇත. දැන හෝ නොදැන මෙවන් කටයුතු දිනෙන් දින බැහැර කිරීම අප අපටම කරගන්නා හානියක් බව නොකියාම බැරිය.