පිළිස්‌සූ හුණුවලට ජලය එකතු කරන විට රත්වන අතර දුම් පිටවනු දැකිය හැකි ය
 

127. ජලය පිරවූ, කට කුඩා බෝතලයක මූඩිය ගලවා කට පහළට හරවා කෙළින් අල්ලාගෙන සිටින විට ඇතුළත ඇති ජලය පිටවීම අඛණ්‌ඩව සිදු නොවේ.


බෝතලයේ ජලය පිටවීමට නම් වාතය ඇතුළු විය යුතු ය. කට කුඩා බැවින් ජලය පිටවන විට වාතය ඇතුළු වීම නවතී. වාතය ටිකක්‌ ඇතුළුවන විට නැවත ජලය පිටවීමට පටන් ගනී. එබැවින් ජලය පිටවීම අඛණ්‌ඩව සිදු නොවේ.


128. පිළිස්‌සූ හුණුවලට ජලය එකතු කරන විට රත්වන අතර දුම් පිටවනු දැකිය හැකි ය.


පිළිස්‌සූ හුණුවලට තිබෙන්නේ කැල්සියම් ඔක්‌සයිඩ් ය. ජලය ඉසින විට එය ජලය සමඟ ප්‍රතික්‍රියා කර දිය ගැසූ හුණු සාදයි. මෙම ප්‍රතික්‍රියාව ඉතා තාපදායකය. පිට කරන අධික තාපය නිසා එය රත්වන අතර ජලය පිටවීම දුමක්‌ ලෙස පෙනේ.


129. ශිතකරණයක තැබූ, ජලය පිරවූ බෝතලයක්‌ ඉන් පිටතට ගෙන තැබූ විට බෝතලයේ පිටත පෘෂ්ඨය මත ජල බින්දු සැදේ.


ශිතකරණයක තිබී ඉන් පිටතට ගත් බෝතලයක උෂ්ණත්වය අඩු ය. වායුගෝලයේ ජලවාෂ්ප ඇත. වායුගෝලයේ ඇති මෙම ජලවාෂ්ප බෝතලයේ සීතල පෘෂ්ඨය හා ගැටුණු විට වාෂ්ප කොටසක්‌ ජල බින්දු බවට පත් වේ.


130. නොගැඹුරු ළිං, පොකුණු වැනි ජලාශවල ඇති හරිත ඇල්ගී ස්‌ථර (දියසෙවල) උදේ කාලයේ දී දිය යට පැවතුන ද තද හිරු අහිත දිවා කාලයේ දී ජලය මතුපිට පාවෙනු දැකිය හැකිය.


තද හිරු එළිය ඇති විට ප්‍රභාසංෂ්ලේෂණ ශීඝ්‍රතාව වැඩි ය. එවිට පිටවන ඔක්‌සිජන් වායුව දියසෙවල අතර බුබුළු වශයෙන් රැඳේ. මේ නිසා ඝනත්වය අඩු වී ජලය මතුපිටට පැමිණේ.


131. දියලුණු ද්‍රාවණයක්‌ සහ භුමිතෙල් එකම ස්‌ථානයක වෙන වෙනම දිනක්‌ වාතයට විවෘත ව තැබූ විට ලුණු දා්‍රවණයේ සාන්ද්‍රණය වැඩි වන නමුත් භුමිතෙල්වල සාන්ද්‍රණය වෙනස්‌ නොවේ.


දිය ලුණු ද්‍රාවණයේ ජලය පමණක්‌ වාෂ්ප වේ. එවිට (ද්‍රාවක පරිමාව අඩු වීම නිසා) ලුණු සාන්ද්‍රණය වැඩි වේ. භුමිතෙල් පිරිසිදු ද්‍රවයක්‌ නිසා වාෂ්ප වුව ද සාන්ද්‍රණයේ වෙනසක්‌ සිදු නොවේ.

(c) Shilpa Sayura Foundation 2006-2017