මැටි කළයක්‌ තුළ ඇති ජලය ඉතා උණුසුම් දිනක දිවා කාලයේ දී පවා සිසිල් ව පවතී
 

123. දහවලට වීදුරු ජනෙල් තුළින් ගෙදරක ඇතුළ බලන විට ගෙය තුළ ඇති දේ පැහැදිලි ව නොපෙනෙතත් පිටත ඇති දේවල ප්‍රතිබිම්බ පැහැදිලි ව පෙනේ.


කාමරය තුළ ඇති වස්‌තුවලින් වීදුරුව හරහා එන ආලෝකය ඇසට ඇතුළු වේ. පිටත වස්‌තුවලින් වීදුරුව මඟින් පරාවර්තනය වී එන ආලෝකය ද ඇසට ඇතුළු වේ. පිටත සිට පරාවර්තනය වී එන ආලෝක කිරණවල තීව්‍රතාව වැඩි ය. මේ නිසා පිටත වස්‌තුවල ප්‍රතිබිම්බය ප්‍රබලව පෙනේ.


124. ජලය පිර වු වීදුරු බෝතලයක මූඩිය වසා ශීතකරණයක අධි ශීත කොටසේ තැන්පත් කළහොත් ජලය අයිස්‌ බවට පත්වන නමුත් වීදුරු බෝතලය පුපුරා යයි.


ද්‍රව ජලය අයිස්‌ බවට පත්වන විට පරිමාව වැඩි වේ. මූඩිය වසා ඇති බැවින් පරිමාව වැඩිවන විට පිට වී යාමට ඉඩක්‌ නැති නිසා ඇතුළත පීඩනයක්‌ ඇති වේ. මෙම පීඩනය ක්‍රමයෙන් වැඩි වීමෙන් බෝතලය පිපිරේ.


125. මැටි කළයක්‌ තුළ ඇති ජලය ඉතා උණුසුම් දිනක දිවා කාලයේ දී පවා සිසිල් ව පවතී.


මැටි කළයක ඉතා සියුම් සිදුරු ඇති අතර මෙම සිදුරු මඟින් ඇතුළත ඇති ජලය වාෂ්ප වීමට ඉඩ සැලසේ. ජලය වාෂ්ප වීමට ගුප්ත තාපය අවශෝෂණය කරගත යුතු වේ. මෙම තාපය ලබා ගන්නේ කළයෙන් සහ කළය තුළ ඇති ජලයෙනි. මේ නිසා කළය තුළ ඇති ජලය සිසිල් වේ.


 

 

 

 

 

 

 

 

126. ලී බඩු සෑදීම සඳහා ඵලය සහිත දැව නොව අරටුව සහිත දැව කොටස්‌ භාවිත කිරීම සුදුසුය.


ඵලය සහිත දැව පහසුවෙන් ක්‌ෂුද්‍ර ජීවීන්, ගුල්ලන් වැනි කෘමීන් ආක්‍රමණය කරතත් අරටුව සහිත දැව එසේ නොවේ. මේ නිසා අරටුව සහිත දැව වැඩි කාලයක්‌ පවතී. අරටුව සහිත දැව වඩා ශක්‌තිමත් ය. මේ නිසා අරටුව සහිත දැව භාවිත කර තනන ලී බඩු වැඩි කාලයක්‌ පවතී.

(c) Shilpa Sayura Foundation 2006-2017