වවුලා රාත්‍රී කාලයේ අදුරේ බාධක මඟ හැර පියාසර කරමින් ගොදුරු අල්ලා ගනියි
 

107. ශ්‍රී ලංකාවේ ලුණු නිෂ්පාදනය පුත්තලම, හම්බන්තොට, අලිමංකඩ, නිලාවැලි, පාලවි වැනි ස්‌ථාන කීපයකට පමණක්‌ සීමා වේ.


ලුණු නිපදවා ගන්නේ සූර්යය තාපයෙන් කරදිය වාෂ්පීභවනය කර ගැනීමෙනි. මෙහි සඳහන් ප්‍රදේශවල වර්ෂයේ වැඩි කාල සීමාවක්‌ තුළ අධික උෂ්ණත්වයක්‌ හා වියළි කාලගුණයක්‌ පවතී. ඒ නිසා මේ ප්‍රදේශවල කරදිය වාෂ්පීභවනය හොඳින් සිදුවේ.


108. ගෘහ විද්‍යුත් පරිපථවල සැමවිට ම විලායක භාවිත වේ.


විලායක සාදා ගන්නේ ධාරාව වැඩි වු විට විලයනය වන ඊයම් වැනි ලෝහ කම්බිවලිනි. පරිපථයේ හෝ විදුලි උපකරණයක්‌ හරහා නියමිත ධාරාවට වඩා වැඩි ධාරාවක්‌ ඇති වූ විට විලායකය විලයනය වන අතර, එතැනින් පරිපථය සිඳේ. ඒ නිසා විදුලිය ගලා යාම ඇන හිට ආරක්‌ෂාව සැලසේ.


109. වැවී බැම්මක පතුල පළල්ව සාදා ඇති අතර ඉහළට යත් ම පළල ක්‍රමයෙන් අඩු වේ.


ගැඹුර වැඩිවත්ම ද්‍රවයක්‌ තුළ පීඩනය ද වැඩි වේ. ඒ නිසා වැවේ පතුලේ දී ජලය මඟින් බැම්ම මත ඇති කරන පීඩනය වැඩි ය. එබැවින් පතුල දෙසට යත් ම ක්‍රමයෙන් වැඩි වන පීඩනයට ඔරොත්තු දීමට වැව් බැම්මේ පතුල පළල්ව සාදා ඇති අතර, ඉහළට යත් ම පීඩනය ක්‍රමයෙන් අඩුවන නිසා වැව් බැම්මේ පළල ද ක්‍රමයෙන් අඩු වේ.


110. මැග්නීසියම් කැබැල්ලක්‌ දහනයෙන් ලැබෙන ඔක්‌සයිඩය මැග්නීසියම් කැබැල්ලේ බරට වඩා වැඩි ය. එහෙත් කඩදාසි කැබැල්ලක්‌ දැවීමෙන් ලැබෙන අළුවල බර කඩදාසි කැබැල්ලේ බරට වඩා අඩු ය.


මැග්නීසියම් දවන විට වාතයේ ඇති ඔක්‌සිජන් සමඟ මැග්නීසියම් සංයෝජනය වී මැග්නීසියම් ඔක්‌සයිඩ් සෑදේ. එය ඝන ඵලයකි. ගැග්නීසියම්වලට ඔක්‌සිජන්වල බර ද එක්‌ වූ නිසා බර වැඩි වේ. කඩදාසි දැවීමේ දී එහි අඩංගුව තිබූ, කාබන් දැවී කාබන්ඩයොක්‌සයිඩ් ලෙසත්, හයිඩ්‍රජන් ජල වාෂ්ප ලෙසත්, ඉවත් වීම නිසා එහි බර අඩු වේ.


111. වවුලා රාත්‍රී කාලයේ අදුරේ බාධක මඟ හැර පියාසර කරමින් ගොදුරු අල්ලා ගනියි.


වවුලා අතිධ්වනි තරංග නිකුත් කරයි. එම තරංග බාධාකවල හැපුණු විට පරාවර්තනය වීමෙන් සංඥා ලැබේ. එම සංඥා මඟින් අදුරේ තිබෙන බාධක මඟ හැර පියාසර කර ගොදුරු අල්ලා ගැනීමට වවුලාට හැකි ය.

(c) Shilpa Sayura Foundation 2006-2017