තදින් ගොරවන විට දොර ජනෙල් දෙදරයි
 

95. තදින් ගොරවන විට දොර ජනෙල් දෙදරයි


ගෙරවුම් හඬ අනුව කම්පනය වන ස්‌වාභාවික කම්පන සංඛ්‍යාතයක්‌ ඇති දොර ජනෙල් මෙසේ කම්පනය වී දෙදරයි. මෙය අනුනාදයයි. සමාන සංඛ්‍යාත ඇති වස්‌තු දෙකක්‌ සමීපයේ ඇති විට එකක්‌ කම්පනය වන විට අනෙකද ඉබේම කම්පනය වේ.


96. විදුලි බල්බ දල්වා තිබෙන කාමර තුළ උණුසුමක්‌ දැනේ


විදුලි බල්බයකට සැපයෙන විද්යුත් ශක්‌තියෙන් වැඩි කොටසක්‌ තාපය බවට පත් වේ. එම තාපය බල්බයේ සිට විකිරණය වේ. එම තාපයෙන් කාමරය තුළ වාතය උණුසුම් වේ.


 

 

 

 

 

 

 


 

97. කෙසෙල් පැළ සිටුවීමේදී ඒවායේ කොළ කපා ඉවත් කරනු ලැබේ

කෙසෙල් පැළ ගලවා සිටුවීමේ දී ඒවායේ මූලකේශ කැඩී ගොස්‌ තිබෙන බැවින් පසෙන් ජලය අවශෝෂණය කරගැනීමට නොහැකි ය. එහෙත් පත්‍ර තිබේනම් ශාකයෙන් ජලය උත්ස්‌වේදනය මඟින් විශාල වශයෙන් ඉවත්ව යා හැකි බැවින් ඉන් ශාකයට හානි සිදුවිය හැකි ය. මේ නිසා උත්ස්‌වේදනය මඟින් ශාකයෙන් ජලය විශාල වශයෙන් ඉවත්වීම වැළැක්‌වීමේ උපක්‍රමයක්‌ ලෙස කොළ කපා ඉවත් කරනු ලැබේ.


98. පලා කොළ විකුණන අය නිතර ඒවාට ජලය ඉසිති

පලා කොළවලින් ජලය උත්ස්‌වේදනය වීම නිසා ඒවා මැලවීමට පුළුවන. එහෙත් නිතර ජලය ඉසීමෙන් පලා කොළ අවට වාතයේ ජලවාෂ්ප සාන්ද්‍රණය වැඩිකරගත හැකිය. එවිට පලා කොළවලින් උත්ස්‌වේදනය මඟින්, ඉවත්වන ජලය ප්‍රමාණය අඩු වන බැවින් ඒවා මැලවීමෙන් ආරක්‌ෂා වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017