හයිඩ්‍රජන් පෙරොක්‌සයිඩ් අසුරා ඇත්තේ අදුරු පැහැ බෝතල් තුළය.
 

23. අදුරෙහි සිටින කෙනෙකුට ආලෝකමත් තැනක සිටින අයෙකු පෙනේ. නමුත් ආලෝකමත් තැනක සිටින අයෙකුට අදුරෙහි සිටින අයෙකු නොපෙනේ.


යම් දෙයක්‌ ඇසට පෙනෙන්නේ එහි සිට ඇස වෙතට ආලෝක කිරණ පැමිණියහොත් පමණී. ආලෝකමත් තැනක සිටින අයගේ සිරුර මත වැටෙන ආලෝක කිරණ පරාවර්තනය වී අදුරු ස්‌ථානයේ සිටින අයගේ ඇස්‌ වෙත එන නිසා ආලෝකවත් තැනක සිටින අය, අදුරු තැනක සිටින අයට පෙනේ. එහෙත් අදුරු තැනක සිටින අයගේ සිරුර මත ආලෝකය නොවැටන නිසා එම සිරුරින් ආලෝකමත් ස්‌ථානය දක්‌වා ආලෝක කිරණ එන්නේ නැත. ඒ නිසා අදුරු තැනක සිටින අය නොපෙනේ.


24. හුණු ගල්වලට විනාකිරි දැමූවිට වායු බුබුළු පිටවේ.


හුණු ගල්වල අඩංගු ප්‍රධාන රසායනික සංයෝගය කැල්සියම් කාබනේට්‌ ය. විනාකිරිවල අඩංගු ප්‍රධාන රසායනික ද්‍රව්‍යය ඇසිටික්‌ අම්ලයයි. ඒ නිසා හුණුගලවලට විනාකිරි දැමූවිට හුණුගල්වල අඩංගු කැල්සියම් කාබනේට්‌, විනාකිරිවල අඩංගු ඇසිටික්‌ අම්ලය හා ප්‍රතික්‍රියා වීමෙන් කාබන්ඩයොක්‌සයිඩ් වායුව පිටවේ. හුණුගල්වලට විනාකිරි දැමූවිට පිටවන්නේ මෙම කාබන්ඩයොක්‌සයිඩ් වායුවයි.


25. හයිඩ්‍රජන් පෙරොක්‌සයිඩ් අසුරා ඇත්තේ අදුරු පැහැ බෝතල් තුළය.


ආලෝකය නිසා හයිඩ්‍රජන් පෙරොක්‌සයිඩ් ජලය හා ඔක්‌සිජන් බවට ඉක්‌මනින් වියෝජනය වේ. සාමාන්‍ය බෝතල්වල හයිඩ්‍රජන් පෙරොක්‌සයිඩ් අසුරා තැබුවොත් මෙසේ සූර්ය ආලෝකය නිසා ඉක්‌මණින් වියෝජනය වේ. නමුත් අදුරු පැහැ බෝතල් තුළට සූර්යාලෝකය උරා ගැනීම අඩු නිසා අදුරු බෝතල්වල අසුරා තැබීමෙන් ඒවා වියෝජනය වීම අඩුවේ.

(c) Shilpa Sayura Foundation 2006-2017