29. ගැටුම් නිරාකරණය කිරීමේ විවිධක්‍රම
 

වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙන හිපොක්‍රටීස්‌ ගේ ප්‍රසිද්ධ කියමන වන්නේ ලෙඩ රෝග සුවකිරීමට වඩා ලෙඩරෝග සෑදීමේ අවස්‌ථාවන් වළක්‌වා ගැනීමයි. මෙම කියමන ද ගැටුම් නිරාකරණය සම්බන්ධයෙන් ද එකසේ බලපායි. එනිසා ගැටුම් නිරාකරණයට වඩා ගැටුම් ඇතිවීමේ අවස්‌ථාවන්, ගැටුම් ඇතිවීමේ මූලයන් පාලනය කිරීම වැදගත් වේ. ගැටුමකට පදනම් වී ඇති මූලික හේතුන් වලට සෘජුවම විසදුම් සැපයීම තුළින් ගැටුම විනාශකාරි තත්වයක්‌ දක්‌වා ගමන් කිරීම වළක්‌වාගත හැකිය. එවිට සිදුවන්නේ ගැටුම තුළින් ධනාත්මක ප්‍රතිඵලයක්‌ ලැබී සමාජ සමතුලිතතාවයක්‌ ඇතිවීමය.


මෙම තත්වය සුදුසුවන්නේ ගැටුමක්‌ විවෘති ගැටුමක්‌ බවට පත්වීමට පෙරය. ධය ගැටුම් ඇතිවීම වැලැක්‌වීම සඳා ගනු ලබන ප්‍රතිකර්මයක්‌ ලෙස හැඳින්විය හැකිය. යම්හෙයකින් ගැටුමක්‌ ප්‍රචණ්‌ඩකාරි තත්වයකට මුහුකුරා ගිය විට ඒවා සමථයකට පත්කිරීමට වඩා විධිමත් ක්‍රියාමාර්ග ගතයුතුය.

ගැටුම් නිරාකරණයට යොදාගන්නා විවිධ උපක්‍රම


1. සහමන්ත්‍රණය
2. මැදිහත්කරණය
3. කොන්දේසිවලට එකඟවීම
4. ගැටුම් කළමණාකරණය
5. ගිවිසුම්වලට බැඳීම


සහමන්ත්‍රණය


අප එදිනෙදා ජීවිතයේ විවිධ ගැටළු නිරාකරණය කිරීම සඳහා සාකච්ඡා පවත්වන්නෙමු. මෙමගින් අදස්‌ හුවමාරු කරගැනීම, දුර්මත බිඳලීම සහ පොදු එකඟතාවකට පැමිණිය හැකි තීරණවලට එළඹෙන්නෙමු. ගැටුම් නිරාකරණයේ දී මෙම අදහස්‌ හුවමාරුව සහමන්ත්‍රණය ලෙස හැදින්වේ. විනාශකාරි ගැටුමක්‌ ධනාත්මක පිවිසුමක්‌ මඟින් විසඳා ගැනීමම මූලික මඟපෙන්වීම සහමන්ත්‍රණය තුළින් ඇතිවේ. සහමන්ත්‍රණය මඟින් ගැටුමට මුල්වී ඇති පාර්ශව තුළ

1. නව සම්බන්ධතා ගොඩනැංවිය හැකිය.
2. ධනාත්මක ආකල්ප ඇතිකළ හැකිය.
3. ගැටුමට සම්බන්ධ සාධක මුලින් උපුටා දැමිය හැකිය.
4. ගැටුම් විසඳීම ඒකපාර්ශවික නොවන බව වටහා දිය හැකිය.
5. ගැටුමට සම්බන්ධ පාර්ශවයන්ට තම පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්‌වීමේ අවස්‌ථාව ලැබීම


මේ අනුව වඩාත් විවෘත අයුරින් ගැටුමට සම්බන්ධ ගැටලු කෙරෙහි අවධානය යොමුකිරීමට දෙපාර්ශවයටම හැකියාව ලැබේ. ගැටළු නිරාකරණයේ දී වඩාත් ලාබදායි පහසුම ක්‍රමය වන්නේ සහමන්ත්‍රණයයි.


මැදිහත්කරණය


මැදිහත් කරණය යනුවෙන් අදහස්‌ වන්නේ ගැටුමට මැදිවී සිටින පාර්ශවයන්ගෙන් පරිබාහිර පුද්ගලයෙකුගේ හෝ කණ්‌ඩායමකගේ ආධාරයෙන් පවත්වන සාකච්ඡාව ලෙස අර්ථ දැක්‌විය හැකිය. මෙසේ එක්‌වන මැදිහත්කරණ කණ්‌ඩායම තුන්වන පාර්ශවය ලෙස දැක්‌වේ. මැදිහත්කරුවා ගැටුම්කාරි පාර්ශවයන්ට අතරමැදිව සිටිමින් ගැටුම සාමකාමි අන්දමට විසඳීම සඳහා දෙපාර්ශවයටම ආධාර සපයයි. තෙවන පාර්ශවයට ගැටුම් පාර්ශව දෙකෙහිම ආරාධනයට අනුව මැදිහත්විය හැකිය. ඇතැම් ගැටුම්වලදී තෙවන පාර්ශවය සිය කැමැත්තෙන්ම ගැටුම නිරාකරණය පිණිස කැපවෙයි. උදාරණයක්‌ ලෙස ශ්‍රී ලංකා රජය සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර නෝර්වේ රාජ්‍යය මැදිහත්කරුවකු ලෙස පෙනී සිටීම දැක්‌විය හැකිය.


මැදිහත්කරණයට එක්‌වන තුන්වන පාර්ශවය පිළිබඳව ගැටුමට මැදිහත්වන පාර්ශවයන්ගේ කැමැත්ත තිබිය යුතුය. තුන්වන පාර්ශවය ගැටුමට අදාළ පාර්ශවයන්ට වඩා බලයක්‌ තිබිය යුතුය. මැදිහත්කරණය ද යම් ගැටුමක්‌ වර්ධනීය තත්වයකට පත්වූ අවස්‌ථාවකදී නිරාකරණය කිරීම සඳහා ගතහැකි හොඳ පිවිසුමකි. ජාත්‍යන්තර ප්‍රජාව, රාජ්‍ය නොවන ආයතන, අතරමැදියන්, දේශපාලනඥයන්, ප්‍රජාසංවිධාන, සිවිල් සංවිධාන මෙන්ම මාධ්‍ය ආයතන ද මෙසේ මැදිහත්කරණයට සම්බන්ධ විය හැකි ආයතනවේ.

කොන්දේසි වලට එකඟ වීම


ගැටුම්වලදී දක්‌නට ඇති එක්‌ ප්‍රවණතාවයක්‌ නම් ඒකපාක්‌ෂික වාසි ලබා ගැනීමට ගැටුම් පාර්ශකරුවන් දක්‌වන කැමැත්තය. ගැටුම් පිළිබඳ එවැනි ආකල්ප වලින් හැඟවෙන්නේ අනෙක්‌ පාර්ශවයට කිසිවක්‌ නොලැබෙන පරාජිත තත්වයකි. මෙය තාවකාලික සාම්ප්‍රදායික ජයග්‍රණයක්‌ වන අත රඑවැනි ගැටුම් නැවත මතුවීමේ ඉඩකඩ වැඩිය. නැතහොත් වෙනත් මුහුණුවරකින් නැවත මතුවේ. එබැවින් පිළිගත හැකි කොන්දේසිවලට එකඟවීම තුළින් බොහෝදුරට ගැටුම් නිරාකරණය කරගත හැකිය. මෙමඟින් ගැටුමට සම්බන්ධ පිරිස්‌ තුළ ඔවුන්ගේ ක්‍රියාමාර්ග සම්බන්ධ වෙනසක්‌ ඇතිවීම ප්‍රතිඵලය ලෙස දැකිය හැකිය.


ගැටුම් කළමනාකරණය


මෙයින් අදහස්‌ වන්නේ ගැටුම් නිරාකරණයට අවශ්‍ය පදනම දැමීමයි. නිදසුනක්‌ ලෙසලංකාවේ 2002 වර්ෂයේ දී රජයත් එල්.ටී.ටී.ඊ. සංවිධානයත් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම සඳහන් කළ හැකිය. මෙමඟින් දෙපාර්ශවය අතර ඇතිවූ ගැටුම යම් මට්‌ටමකට සීමාකොට තබාගැනීමටත් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පසුබිම සකස්‌කිරීමත් සිදුවෙයි.


ගැටුම් කළමනාකරණයේ තවත් අපේක්‌ෂාවක්‌ වන්නේ ගැටුමෙන් ඇතිවිය හැකි ප්‍රචණ්‌ඩත්වය සීමාකිරීමයි. එනිසා ගැටුම් නිරාකරණය ධනාත්මක ප්‍රවේශයක්‌ කරා යොමු කිරීම, ගැටුම තවත් අංශ කරා පැතිරීයාමට ඇති ඉඩකඩ අවම කිරීම මෙන් ප්‍රචණ්‌ඩත්වය කරා යොමුවීමට ඇති ඉඩකඩ අහුරා එමඟින් සිදුවිය හැකි හානි අවම මට්‌ටමකට ගෙන ඒම ගැටුම් කළමනාකරණය තුළින් බලාපොරොත්තු වේ. සියලුම පාර්ශව සමඟ මනා සන්නිවේදනයක්‌ මඟින් ඔවුන්ගේ අදහස්‌, මතවාද පිළිබඳ සැලකිල්ලක්‌ දක්‌වා අවශ්‍ය තීරණවලට එළැඹිය යුතුය. මේ අවස්‌ථාවේදී ගැටුමට සම්බන්ධ සෘජු පාර්ශව කරුවන් මෙන්ම වක්‍රව සම්බන්ධ පාර්ශව කරුවන් හදුනාගෙන ගැටුම් කළමනාකරණය සිදුකළ යුතුය.


ගිවිසුම් වලට බැඳීම


ගිවිසුම්වලට බැඳීම තුළින් ද ගැටුම් මඟින් සිදුවන ප්‍රචණ්‌ඩත්වය සහ එහි බලපෑම අවම කළ හැකිය. මේ අනුව ගැටුමට සම්බන්ධ පාර්ශව අතර පොදු එකඟතාවකට යොමුකිරීමට අවශ්‍ය පසුබිම නිර්මානය කළ හැකිය. මෙවැනි අවස්‌ථාවක්‌ උදාවන්නේ ගැටුමක්‌ තීව්‍ර අවස්‌ථාවකට පත්වීමේදී ය. 2002 පෙබරවාරි 22 වන දින අත්සන් කරන ලද ශ්‍රී ලංකා ආණ්‌ඩුව සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර වූ සටන්විරාම ගිවිසුම මඟින් සිදුවූයේ දෙපාර්ශවයේම ප්‍රචණ්‌ඩ ක්‍රියා අවමවීමයි. මෙය ගැටුම් නිරාකරණය සඳහා වූ මූලික ප්‍රවේශයක්‌ විය. මෙය ගැටුම පාලනය කිරීමේ අවසාන අවස්‌ථාව නොවන නමුත් නිරාකරණය සඳහා ආරම්භයක්‌ ගැනීමට සුදුසු අවස්‌ථාවක්‌ විය.

(c) Shilpa Sayura Foundation 2006-2017