28. ගැටුම් ත්‍රිකෝණය
 





රූපය


ඉහත දක්‌වා ඇති ඒ.බී.සී. සම්බන්ධතාවය මත තිබෙන නොගැලපීම අනුව ගැටුමක්‌ නිර්මාණය වන බව ජෙහාන් ගුල්ටූන් පවසයි. මෙහි ව්‍යුහය යනු සේවක සේව්‍ය දෙපක්‌ෂය අතර ඇති විශ්වාසය ඇගයුම් ඉලක්‌ක ආදිය පෙන්නුම් කරයි. ආකල්පවල අපේක්‌ෂාභංගත්වයක්‌ ඇති වූ විට ඇතිවන තත්වය චර්යාවන්ගෙන් ප්‍රකට වෙයි. මෙහිදී එකිනෙකා හැසිරෙන ආකාරයෙන් චර්යාව හැඩගැසෙයි. සමහරවිට චර්යාව සහයෝගිතාවයෙන් යුතුවෙයි. නැතහොත් දැඩි ස්‌ථාවරයක සිටින චර්යාවක්‌ බවට පරිවර්තනය වේ. මේ අනුව ඒ.බී.සී ත්‍රිකෝණයේ එක්‌ මූලයක්‌ අනෙක්‌ මූලය වෙතට බලපාන අයුරු පෙනේ. ගැටුම් සමනය කිරීමට මෙම ගැටුම් ත්‍රිකෝණය හදුනාගත යුතු බව ඔහු අවධාරණය කරයි.


ගැටුම් වර්ග


ගැටුම් වලට විසදුම් සෙවීමේදී බොහෝවිට ගැටුම් වර්ගීකරණය කිරීමට පෙළැඹේ. නමුත් ගැටුම් එසේ වර්ගීකරණය කිරීම ඉතා අපහසු කාර්යයක්‌ වන්නේ එහි සංකීර්ණත්වය නිසාය. ගැටුම ආරම්භ වන්නේ මිනිසාගේ සිත තුළ බව විවිධ ආගම් කර්තෘවරු පෙන්වා දී තිබේ. සිත පාලනය කිරීම තුළින් ගැටුම් ඇති කිරීම වළක්‌වාලිය හැකි බවත් විනාශකාරී ප්‍රතිඵල අවම කරගත හැකි බවත් පෙන්වා දී ඇත. කෙසේ වුවත් පුද්ගලයා තුළ හටගන්නා ගැටුම්කාරී තත්වය, සමාජය, රටවල් අතර මෙන්ම අන්තර්ජාතික ගැටුම් දක්‌වා ද දීර්ඝ ලෙස විකාශනය වියහැකි බව පෙනේ.


සමාජ විද්‍යාඥයන් විසින් ගැටුම් වර්ගීකරණය විවිධ අයුරින් කර ඇත. එපමණකටම ගැටුම් වර්ග හදුනා ගැනීමේ සංකීර්ණත්වයක්‌ ඇති නිසා ය. නමුත් අධ්‍යයන පහසුව තකා ගැටුම් වර්ග මූලික ක්‍රම හතරක්‌ යටතේ හදුනා ගනිමු.


ගැටුම් වර්ගීකරණය


1. දේශපාලන සාධක  (Political Causes)
2. සමාජ ආර්ථික සාධක  (Economic and Social Causes)
3. වාර්ගික සාධක     (Nationalisam Causes)
4. සංස්‌කෘතිමය සාධක  (Cultural Causes)


1. දේශපාලන සාධක


ඕනෑම රටක ගැටුම් ඇතිවීමේ හැකියාව එරට පවතින දේශපාලන වාතාවරණය මත සිදුවිය හැකිය. දේශපාලන සංස්‌ථාව මගින් මුළු මහත් ජනතාවට ඉටුවන සාධාරණත්වය මත ජනතා ප්‍රසාදය හෝ අප්‍රසාදය ආණ්‌ඩුව වෙත එල්ල විය හැකිය. දේශපාලන ක්‍රමය මගින් සමාජයේ එක්‌ කොටසකට පමණක්‌ සාධාරණත්වය ඉටුවී අනෙක්‌ කොටසක්‌ පීඩාවට පත්වේනම් එවන් අවස්‌ථාවක පීඩාවට පත් ජනකොට්‌ඨාශය ගැටුමක්‌ ඇරඹිය හැකිය. බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල අනුගමනය කරන බලය විමධ්‍යගතකරණය වෙනුවට බලය එක්‌ මාධ්‍යකට සංකේන්ද්‍රණය වී තිබීමත් දේශපාලනික වශයෙන් අර්බුද ඇතිකරයි.


එමෙන්ම රජයේ වංචා දූෂණ, අකාර්යක්‌ෂම පරිපාලනය මෙන්ම සංවර්ධනය අඩාලවීම වැනි හේතුන් නිසා රාජ්‍ය ව්‍යුහය දුර්වල වේ. එවැනි අවස්‌ථාවකදී ද පඨචණ්‌ඩකාරී ගැටුම් ඇතිවිය හැකිය. මෙවන් අවස්‌ථාවලදී ආණ්‌ඩු පක්‌ෂය සහ විපක්‌ෂය අතර බලතරඟය ද උත්සන්න වේ. එමගින් ජනතාව තවතවත් පීඩනයට ලක්‌වේ. එවිට හටගන්නේ ද ගැටුම්කාරී දේශපාලන වාතාවරණයකි. පිළිගත හැකි ශක්‌තිමත් දේශපාලන ආයතන නොමැති වූ විට ද අස්‌ථාවරභාවය මත ප්‍රචණ්‌ඩත්වය ද ඉහල යන බව විද්වතුන්ගේ මතයයි.

ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්‌ෂ, බලයට පත්වීමේ අභිලාෂයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධි කටයුතුවලට යොමුවීම නිසාද ගැටුම් හටගනී. මෙහිදී මිනිස්‌ ඝාතන දක්‌වාම ගැටුම් උග්‍රවිය හැකිය. විශේෂයෙන්ම මෙවැනි තත්වයක්‌ දැකගත හැකි වන්නේ තුන්වන ලෝකයේ රටවල් තුළිනි. විශේෂයෙන්ම අධ්‍යාපනයක්‌ නොලත් දිළිදු රටවල දේශපාලනික වශයෙන් ඇතිවන ගැටුම්වල වර්ධනයක්‌ දක්‌නට ඇත. මෙයට හේතු වශයෙන් දැක්‌විය හැක්‌කේ දේශපාලන කණ්‌ඩායම් තුළ දක්‌නට ඇති කෝපය, වෛරය, වැරදි වැටහීම වැනි සතුරු ආකල්ප හා නිශේධනාත්මක ආකල්ප ඇති ජනතාව පිල්වලට බෙදී යාමෙන් මහජනතාවට ද එහි පැත්තක්‌ ගැනීමට සිදුවීමයි.


2. සමාජ ආර්ථික සාධක


වෙනස්‌වන සමාජයන් තුළ ජීවත්වන මිනිසුන්ගේ මතවාදයන්, අදහස්‌, වෙනස්‌ ආකාර හැඟීම් ඇතිවීම නොවැළැක්‌විය හැකිය. ඒවා ඇතිවීම මෙන්ම වර්ධනය වීමද සිදුවේ. මෙයට හේතුව සමාජය තුළ ජීවත්වන පුද්ගලයන් සතු විවිධත්වයයි. මෙම විවිධත්වය ධනය, බලය, #කියාව, ස්‌ත්‍රී පුරුෂ බව, දේශපාලන මත, වයස්‌ කණ්‌ඩායම් ආදී විවිධ සාධක මත රැදී පවතී. මෙසේ එකම සමාජයක්‌ තුළ විවිධ කණ්‌ඩායම් තුළින් මතුවෙන මෙම විවිධ අවශ්‍යතා පරිපූර්ණ නොවූ විට හටගන්නේ ගැටුමයි.


සමාජය තුළ ගැටුම් ඇතිවීමට ආර්ථික සාධකය ද විශාල බලපෑමක්‌ ඇති කරයි. රටක ජනතාවට ආර්ථිකමය වශයෙන් සමපත් බෙදාහැරීම අසමතුලිත වනවිට ඇතිවන්නේ අසහනකාරී වාතාවරණයකි. රටෙහි ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ සමාජයේ එක්‌කොටසක්‌ පමණක්‌ ලබාගන්නා විට පීඩනයට පත්වන ජනකොටස්‌ ඉච්ඡාභංගත්වයට පත්වේ. මෙවැනි අවස්‌ථාවක ගැටුම් ඇතිවිය හැකිය.


අද ලොව පවතින තරඟකාරි ආර්ථික රටාවද ගැටළු ඇතිකිරීමට හේතු වී තිබේ. විශේෂයෙන්ම නවීකරණය වන සමාජ සංස්‌ථාවන්හි තාක්‌ෂණික හා කාර්මික අංශයන්හි තරඟකාරී දියුණුවක්‌ දක්‌නට ඇත. මේනිසා පවුල යන කුඩා ඒකකයේ සිට සංකීර්ණ සමාජ සංස්‌ථාව දක්‌වා සමාජයේ සියලු කොටස්‌වල කටයුතු සංකීර්ණ වේ. එහි ප්‍රතිඵල ලෙස උද්ධමනය, විරැකියාව, තරඟකාරිත්වය, ඉඩම් හිඟය, මානසික අසහනය ආදී හේතු සමාජය තුළ උද්ගත වේ. එනිසා ගොඩනැගෙන අසමානත්වය, අපේක්‌ෂාභංගත්වය වැනි හේතු ගැටුම්වලට මූලික වේ. සන්නිවේදන ක්‌ෂේත්‍රයේ දියුණුව, අධ්‍යාපනයෙහි දියුණුව ලොව පුරා සාක්‌ෂරතාවය දියුණුවීම ආදී තත්වයන් තුළින් හටගන්නා දැනුම පිපිරී යාමේ අවස්‌ථාවන්ගෙන් ද ගැටුම් හටගත හැකිය. උදාහරණයක්‌ ලෙස සන්නිවේදන මාධ්‍යයන්ගේ වරප්‍රසාද යම් ජනකොටසකට අහිමි බව දැනගත් වහාම එවැනි තත්වයක්‌ ලබාගැනීම උදෙසා ගැටුම් ආරම්භ කළ හැකිය.



වාර්ගික සාධක


ජනවාර්ගිකත්වය හා සම්බන්ධවන ගැටුම් බොහෝවිට සාරධර්ම මත පදනම්වේ. බොහෝ විට ජනවාර්ගික ගැටුම් නිරාකරණය දුෂ්කරය. මෙයට හේතුව ගැටුමට සම්බන්ධ පාර්ශව අතර පොදු එකඟත්වයකට පත්විය හැකි මාර්ග විරල වීමයි. ජනවාර්ගික ගැටළුවක දී එයට සම්බන්ධ පක්‌ෂය තම අනන්‍යතාවය අනතුරකට පත්ව ඇතැයි, නොසලකා හැ ඇතැයි සිතීම දැක්‌විය හැකිය. මෙවැනි ගැටලුවක්‌ විසඳීමට ඇති හොඳම මඟ වන්නේ එකිනෙකාගේ සාරධර්මවලට ගරුකිරීම තුළින් විශ්වාසය ගොඩනැගීමයි. විවිධත්වය තුළින් එකමුතු වෙමු යන ආදර්ශපාඨය සෑම පාර්ශවයකටම ඒත්තු යන අයුරින් කටයුතු කළ යුතුය. ශ්‍රී ලංකාවේ පවතින ජනවාර්ගික ගැටුම ජනවර්ග දෙකක්‌ තුළ පවතින අන්‍යයන්ට ගරු නොකිරීමේ තත්වයේ ප්‍රතිඵලයකි. මෙවැනි ගැටුම් නිරාකරණයට එකිනෙකාගේ සාරධර්ම පිළිබඳව ද විවිධත්වයට ගරුකිරීම ද සමාජය තුළ ඇතිවිය යුතුය.


සංස්‌කෘතික සාධක


කිසියම් සමාජයක ජීවත්වන පුද්ගලයන්ගේ භාෂාව, ඇදුම් පැළදුම්, ආහාරපාන, කලාශිල්ප, සාහිත්‍ය, අධ්‍යාපනය, නීතිය, සිරිත්විරිත්, ගුණධර්ම, ඇදහිලි හා විශ්වාස ආදී රඳාපවතිනුයේ ජන සමාජය විසින් මෙම සංස්‌කෘතික ලක්‌ෂණ පරම්පරාවෙන් පරම්පරාවට පවරාදෙනු ලබන ප්‍රමාණය අනුවය. මෙනිසා සෑම සංස්‌කෘතියකටම අයත් පුද්ගලයෙකු විසින්ම ස්‌වකීය සංස්‌කෘතිය ආරක්‌ෂාකර ගැනීමටත් අන්අයගේ පිළිගැනීමට ලක්‌වනු දැකීමටත් කැමතිය. සංස්‌කෘතියට කිසියම් තර්ජනයක්‌ එල්ල වන අවස්‌ථාවලදී දිවිපරදුවට තබා හෝ එය රැකගැනීමට උනන්දුවන්නේ එබැවිනි.


රටක අභ්‍යන්තරික ගැටුම් ඇතිවීම හා සම්බන්ධිත හේතුවක්‌ ලෙස සංස්‌කෘතික සාධක ද හදුනාගෙන ඇත. එකම ජනවර්ගයක්‌ තුළ වුවද භාෂාමය, ආගමික, අධ්‍යාපනික, සිරිත්විරිත් ආදියෙහි ඇතිවන වෙනස්‌කම් මත ගැටුමක්‌ හටගත හැකිය. බෙල්ජියම් රජය විසින් රටතුළ විවිධ භාෂා කථාකරන ජනතාව උදෙසා ප්‍රාන්ත රාජ්‍ය වෙන්කරදී ඔවුන්ගේ අනන්‍යතාවය රැකගැනීමට උපකාරි වී ඇත. එම සංස්‌කෘතිකමය වෙනසට ගරු කිරීම තුළින් විවිධ භාෂාවන් කථාකලත් එකම බෙල්ජියානු ජනතාවක්‌ ලෙස පෙනීසිටීමට ඔවුහු පෙළැඹී සිටිති. මෙසේ සංස්‌කෘතිකමය සාරධර්ම වලට ගරුකිරීම ගැටුම් නිරාකරණයේ වැදගත් සාධකයකි.


ගැටුම් තුළින් ඇතිවිය හැකි ප්‍රතිඵල









































අවාසි සහගත ප්‍රතිඵල


වාසි සහගත ප්‍රතිඵල

1. ප්‍රචණ්‌ඩ ක්‍රියා ඇතිවීම 1. වඩා හොඳ දේශපාලනික තත්වයක්‌ ඇතිවීමට මඟ පෑදීම.
2. ජීවිත හානිවීම 2. යහපත් සමාජ සංවිධාන බිහිවීම.
3. දේපල විනාශය 3. නව සම්බන්ධතාවන් ගොඩනගා ගැනීට හැකිවීම.
4. වද හිංසා වලට ලක්‌වීම 4. සමාජ සංවර්ධනයට අවශ්‍ය නව මාර්ග එළිපෙහෙළි වීම
5. අවතැන්වීම සහ සරණාගතයන් ඇතිවීම
6. හොරමැරකම්, දූෂණ, වංචා ආදිය ඇතිවීම
7. මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම
8. රටෙහි ආර්ථිකය පිරිහීම
9. සමාජ සාරධර්ම පිරිහීයාම නිසා අස්‌ථාවර සමාජයක්‌ ඇතිවීම
10. ආබාධිතයන් ඇතිවීම

(c) Shilpa Sayura Foundation 2006-2017