26. තාක්‌ෂණික දියුණුව, ගෝලීයකරණය සහ ශ්‍රී ලංකාව
 

ගෝලීයකරණය, ජගත්කරණය සහ සමස්‌ථිකරණය යනුවෙන් ද හැඳින්වේ. ගෝලීයකරණය යන සමස්‌ත ආර්ථික ක්‍රියාවලියටම සම්බන්ධ ක්‍රියාවලියකි. මෙය කෙටියෙන් අර්ථ දැක්‌වුවහොත් ජාත්‍යන්තර ආර්ථිකයට විශ්ව සමාජයකට සහ ලෝක සංස්‌කෘතියකට බාධාවකින් තොරව බද්ධවීමේ ක්‍රියාවලිය ලෙස දැක්‌විය හැකිය. මෙය සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවත්නා රටවලට ද එකසේ බලපාන අතර ව්‍යාපාරිකයින්ට, අධ්‍යාපනඥයන්ට සහ මාධ්‍යවේදින්ට මූලික වශයෙන් ගැටලු ඇතිකරයි. අන්තර් ජාලය සහ විද්යුත් මාධ්‍ය හරහා දැනුම ගලා ඒම මෙන්ම පණිවිඩ හුවමාරු නිසා පිටස්‌තර ලෝකය හා සම්බන්ධ වීමේ ප්‍රවනතාවය නිසා ගෝලීයකරණයේ බලපෑම්වලට හසුවන රටක්‌ නොමැති තරම්ය. මෙහි ධනාත්මක ප්‍රතිඵල මෙන්ම සෘණාත්මක ප්‍රතිඵලද ඇතැයි සඳහන් කළ යුතුය.


තම පවුලේ සීමාවෙන් එපිට සම්බන්ධතා පැවැත්වීමට අවසර නොතිබුණු ඉන්දීය ශ්‍රී ලාංකික වැනි ආසියාතික රටවල කාන්තාවන්ට වෙනත් රටවල රැකියා දොරටු විවෘත වීමත් සමඟ නිදස්‌වාදී ජගත්කරණයේ තවත් පැතිකඩක්‌ විවර වී ඇත.


සන්නිවේදනය, ඉලෙක්‌ට්‍රොනික සන්නිවේදන ජාලය තුළින් ගෝලීයකරණය පහසුකර තිබේ. ලෝකය ඉතා කුඩා ප්‍රදේශයක්‌ ලෙසට නූතන තාක්‌ෂණය තුළ කැටිවී ඇත. පැරණි ලෝකයේ ශ්‍රමයට හිමිවූ ස්‌ථානය අද තාක්‌ෂණයට හිමිවී ඇත. සාමූහික පැවැත්ම මත රඳාපවත්නා සෑම රටක්‌ම ගෝලීයකරණයට නතුවී තිබෙන බව පෙනීයන කරුණකි.


වෙළඳාම ගෝලීයකරණය වඩාත්ම බලපා ඇති ක්‌ෂේත්‍රයයි. වෙළඳපල සම්බන්ධයෙන් රජයකට තීරණ ගතහැකි කාලය ඉක්‌ම ගොස්‌ එය අද වෙනත් බලවේග විසින් නතුකරගෙන ඇත. එනිසා ජගත්කරණය නව ජාත්‍යන්තර ආර්ථිකය තුළ අභියෝගයකි. තුන්වන ලෝකයේ රටවල් වඩවඩාත් විවෘති ආර්ථික රටාවකට නැඹුරුවීම මේ තුළින් පෙනේ. භාණ්‌ඩ හා සේවා, බුද්ධිමය දේපලට අදාළව කෙරෙන වෙළඳාම, තීරු ගාස්‌තු සහ වෙනත් ගාස්‌තු වලින් තොරව නිදහසේ ගලායාමට සැලැස්‌වීම ගෝලීයකරණයේ මූලික පරමාර්ථය වේ. ගෝලීයකරණයෙන් සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර ආර්ථිකමය වශයෙන් සම්බන්ධතාවක්‌ ඇතිකිරීමට උපකාරිවේ.

නිදසුනක්‌ ලෙස, ශ්‍රමය සපයා ගැනීමට, අඩු වැටුප් සහිත රටවලට ආර්ථික ප්‍රවාහයක්‌ ගලායාමක්‌ දක්‌නට ඇත. ලංකාවේ නිදස්‌ වෙළඳකලාප සංකල්පය තුළින් සාක්‌ෂාත් කරගැනීමට බලාපොරොත්තු වූයේ අඩු වැටුප් සහිත ශ්‍රමය සංවර්ධිත රටවලට විකිණීමයි. මෙය අනෙක්‌ අතර සංවර්ධිත රටවල ආර්ථිකයට සෘණ බලපෑමක්‌ ද ඇතිකර තිබේ. එම රටවල විරැකියාව දැනට ගැටළු සහිත ලෙස මතුවෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ දැවට පවතින වර්ගභේදවාදී යුදවාතාවරණය නොතිබුණේ නම් මෙම නිදහස්‌ වෙළඳ කලාප හරහා විශාල ආර්ථික ප්‍රගතියක්‌ අපට අත්කරගතව තිබුණි. ආයෝජකයන් මෙරටට පැමිණ කර්මාන්ත ඇතිකිරීමට දක්‌වන මැලිකම නිසා බලාපොරොත්තු වූ ආර්ථික ප්‍රගතිය එමගින් ඉටු නොවුණි.

ගෝලීයකරණය තුළින් රජයකට පමණක්‌ තීරණ ගැනීමේ හැකියාව පහවගොස්‌ ඇති නිසා බොහෝ රටවල් මේ සඳහා කලාපීය සංවිධාන පිහිටුවාගෙන ඇත. නිදසුනක්‌ ලෙස "යුරෝපා පොදු වෙළඳ හවුල" නව ආර්ථික අභියෝගයන්ට මුහුණදීමට පිහිටුවාගත් සංවිධානයයි. මෙහිදී ඔවුහු යූරෝ නම් පොදු මුදල් භාවිතයකට පවා පෙළැඹී ඇත. මෙමගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ ක්‌ෂුද්‍ර බලවේග මඟින් හසුරුවනු ලැබූ ආර්ථික ක්‍රියාවලියේ නව අභියෝගයන්ට සාමූහිකව මුහුණදීමේ හැකියාව ඇතිකර ගැනීමයි. ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල් මෙම තත්වයට මුහුණදීමට දකුණු ආසියාතික සහයෝගිතා සංවිධානට පිහිටුවාගෙන ඇතත් එය එතරම් ප්‍රතිඵලදායක වී නැත.






රූපය


ඉහත සටහනෙන් දැක්‌වෙන්නේ ගෝලීයකරණය ක්‍රියාත්මක වන ආකාරයයි. ගෝලීයකරණය පළමුකොට රටතුළ ව්‍යාප්ත වෙයි. ඉන්පසු එම රට අයත්වන කලාපයයි. අයත්වන කලාපය දක්‌වා විහිදී ඉන්පසු මුළු විශ්වය දක්‌වාම ව්‍යාප්ත වෙයි. එනිසා ගෝලීයකරණය යනු යම් රටකට සීමාවූ ක්‍රියාවලියක්‌ ලෙස හුදෙකලා කර දැක්‌විය නොහැක.


සංවර්ධිත මෙන්ම සංවර්ධනය වන රටවල ද බලපෑම් ඇතිකරවන ගෝලීයකරණය සම්බන්ධව සංවර්ධිත රටවල් වඩාත් රැකවරණවාදී ප්‍රතිපත්ති අනුගමනය කිරීමට පෙළැඹී ඇත. උදාහරණයක්‌ ලෙස ඌන සංවර්ධිත රටවලින් භාණ්‌ඩ මිලට ගැනීමේදී "කෝටා" ක්‍රමයක්‌ සනුගමනය කිරීම මෙහි එක්‌ ප්‍රතිඵලයකි. ලංකාවේ අඟලුම් කර්මාන්තය සම්බන්ධයෙන් ඉතා හොඳ විදේශ වෙළඳපොලක්‌ අපට තිබුණ ද සංවර්ධිත රටවල් අනුගමනය කරණ ආරක්‌ෂණවාදී පිළිවෙත් අනුව (උදා :- කෝටා ක්‍රමය) අවශ්‍ය ඉලක්‌ක කරා අපට යා නොහැක.


ගෝලීයකරණය යනු ආපස්‌සට හැරවිය නොහැකි ප්‍රවාහයක්‌ නිසා අප යඑට හැඩගැසිය යුතුය. වෙළඳාම් කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය මැදිහත්වීමට වඩා, දැනට දැකිය හැකිවන්නේ බහුජාතික සමාගම්වල ඒකාධිකාරයයි. ධනිසා මිල පාලනය ආදී කටයුතු වල අයිතිය එම සමාගම් සතුවේ. මෙම තත්වයන්ට මුහුණ දීමට නම් අප රට ආර්ථික ක්‍රියාවලිය වේගවත් නිෂ්පාදන ක්‍රියාවලියකට යොමුකළ යුතුවේ. නූතන නිෂ්පාදන ක්‍රියාවලිය තුළ නිෂ්පාදන යාන්ත්‍රණය කෙටි කාලයක්‌ තුළ ක්‍රියාත්මක වීම, සාමූහිකව වැඩකිරීම, අවශ්‍ය ප්‍රමාණය කලට වේලාවට නිපදවීම, නිෂ්පාදකයා සහ සැපයුම්කරු අතර ඇති සම්බන්ධය වැනි නූතන නිෂ්පාදන ක්‍රියාවලීන්ට අප රට ආර්ථිකය යොමුකිරීම වැදගත් ය.


ගෝලීයකරණය නිසා වඩාත්ම විප්ලවීය වර්ධනය සිදුවනු ඇත්තේ අධ්‍යාපන ක්‌ෂේත්‍රයේය. තුන්වන ලෝකයේ රටවල් එමගින් විපුල ප්‍රයෝජන ලබනු ඇතැයි සිතිය හැකිය. දේශීය විශ්ව විද්‍යාලය තුලින් ලබාගත නොහැකි දැනුම අන්තර්ජාලය ඔස්‌සේ කේන්ද්‍රීය රටවල විශ්ව විද්‍යාල වෙතින් ලබාගැනීමේ ප්‍රවනතාවය හිමිවේ. ගෝලීයකරණය තුලින් ලබාගන්නා දැනුම විසින් ලෝකය එකම විශ්ව ගම්මානයක්‌ කරනු ඇත.


ගෝලීයකරණයේ වාසි


1. සමාජයක්‌ සරල තත්වයේ සිට සංකීර්ණ තත්වයක්‌ කරා ගෙනයයි.
2. කුඩා පරිමාණ නිෂ්පාදන ක්‍රියාවලියක සිට මාපරිමාණ යාන්ත්‍රික නිෂ්පාදන ක්‍රියාවලියකට යොමුකරවයි.
3. ලෝක ආර්ථිකයට, විශ්ව සමාජයට සහ සංස්‌කෘතියට බාධාවකින් තොරව බද්ධවිය හැකිය.
4. අන්තර්ජාලය සහ විද්යුත් මාධ්‍ය හරහා විද්‍යාත්මක දැනුම ගලා එයි.
5. පිටස්‌තර පණිවිඩ හුවමාරුව, වෙනත් සංස්‌කෘතීන් සමඟ සම්බන්ධවීමේ හැකියාව ඇතිවේ.
6. ආසියාතික රටවල පවුල් සීමාවෙන් පිටත ලෝකය සමඟ සම්බන්ධතාවය පවත්වා ගැනීමේ හැකියාව වර්ධනය වීම.
7. අධි විද්යුත් සන්නිවේදනය, අඩු ප්‍රවාන ගාස්‌තු සහ නිදහස්‌ වෙළඳාම විසින් ලෝකය එකම වෙළඳ ජාලයකට නතුකර ඇත.


ගෝලීයකරණයේ අවාසි


1. ධනපති රටවල් සහ තුන්වැනි ලෝකයේ රටවල ඉහළ මධ්‍යම පංතියට අයත් ජනතාව සියලු පහසුකම් භුක්‌ති විඳින අතර ජගත්කරණයෙන් ප්‍රතිලාභ ලබනුයේ සමාජයේ මෙම ඉහළ ස්‌ථරය පමණක්‌ වීම.
2. තුන්වැනි ලෝකයේ රටවල ආර්ථික තත්වයේ වෙනසක්‌ දක්‌නට නොලැබේ. පැරණි යටත් විජිත අවධියට සමාන තත්වයක්‌ එහි මුහුණුවර වෙනස්‌ වී නැවත උදාවී ඇති සෙයක්‌ පෙනේ.
3. නිර්යාතය අරමුණු කරගත් ආර්ථිකයක්‌ නිසා රටේ ජනතාවට අවශ්‍ය පරිභෝජන භාණ්‌ඩ නොසලකා හැරීම. (උදා :- ලංකාවේ ඉස්‌සන් හා මසුන් පිටරට යැවීම.)
4. නව නිදහස්‌වාදී ජගත්කරණ ක්‍රියාවලිය අනුව අන්තර්ජාතික සමාගම් තම රටවලට ගෙන්වා ගැනීමට තුන්වන ලෝකයේ රටවල් අතර ඇති තරඟය උග්‍රවීම.
5. මුදල්මත යැපෙන සමාජ ක්‍රමයක්‌ ඉස්‌මතුවීම නිසා අපරාධ සඳහා ඇති නම්‍යතාවය ඉහළයාම. මත්ද්‍රව්‍ය වෙළඳාම, ළමා අපචාර වැනි සමාජ විරෝධි ක්‍රියා ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළයාම.
6. පරිසර දූෂණය ද ගෝලීයකරණය තුළින් ඇතිවිය හැකි අනිටු විපාකයකි. විශේෂයෙන් අධික කාර්මීකරණය නිසා පරිසර උෂ්ණත්වය ඉහළයාම, වායුගෝලීය ඕසෝන් ස්‌ථරය එනම් හිරුකිරණ බලය අඩුකරන වායුතලය හීන වී යාම සිදුවේ.
7. තුන්වන ලෝකයේ රටවල් ණය ගැනීමේ ක්‍රියාදාමය වේගවත් කර ඇති නිසා ඇති නැති පරතරය නැති කිරීමක්‌ සිදුනොවේ.
8. ජාතික රාජ්‍යයන් තුළ සමාජසේවා ක්‍රියාවලියට සලසා තිබූ පහසුකම් එකින් එක ඉවත් කරන බලපෑම් තුලින් අන්තර්ජාතික සමාගම් එම තත්වය තම වාසියට හරවා ගැනීම. නිදසුනක්‌ ලෙස ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්‌ෂේත්‍රයට පූර්ණ වශයෙන් සහයෝගය දෙනු ලබන්නේ බහුජාතික සමාගම් වීම.

(c) Shilpa Sayura Foundation 2006-2017