23. ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්තමාන ප්‍රවනතා
 

*  ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්තමාන තත්වය විමසා බැලීමේ දී කෘෂිකර්මයට තිබූ මූලිකත්වය ක්‍රමයෙන් ගිලිහෙමින් පවතී. උදාහරණ ලෙස තේ, පොල්, රබර් වතු ආර්ථිකයේ මූලික ස්‌ථාන ගෙන තිබුණද දැනට ලංකාවේ ප්‍රධාන විදේශ විනිමය ලබාදෙන මාර්ගය වී ඇත්තේ විදේශ සේවා නියුක්‌තයයි.


*  කාර්මික නිෂ්පාදනවල දායකත්වය ද ඉහළ මට්‌ටමකට ගොස්‌ ඇති අයුරු පෙනේ. නමුත් කාර්මික අංශයට අවශ්‍ය අමු ද්‍රව්‍ය 65% වැඩි ප්‍රමාණයක්‌ ආනයනය කිරීම ගැටළුවකි.


*  ශ්‍රී ලංකාවේ වර්තමාන වතුභෝග යටතේ තේ වගාවේ දියුණුවක්‌ දක්‌නට ලැබෙතත් පොල් සහ රබර් වගාවන්හි පහත බැසීමක්‌ දක්‌නට ලැබේ.


*  වී වගාවේ දියුණුවක්‌ දක්‌නට ලැබේ.


*  ඇඟලුම් කර්මාන්තය ශ්‍රී ලංකා ආර්ථිකයට එක්‌වූ නවතම අංගය වන අතර එහි සැලකිය යුතු ප්‍රගතියක්‌ දක්‌නට ලැබෙයි.


*  පිටරට වල සිට ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන විදේශ මුදල් ප්‍රමාණයේ සැලකිය යුතු වර්ධනයක්‌ පෙන්නුම් කරයි.


රාජ්‍ය ණය ප්‍රමාණය වැඩිවීම වර්තමාන ආර්ථිකය තුළ දක්‌නට ඇත. මේවා සංවර්ධන කටයුතු සඳහා ලබාගත් කෙටිකාලීන මෙන්ම දිගුකාලීන ණය ලෙස පවතී.


*  ගම්බද ප්‍රදේශවල දරිද්‍රතාව නාගරික ප්‍රදේශ වලට වඩා වැඩිවීම මෙකළ පැහැදිලිව දක්‌නට ලැබෙයි.


*  දේශපාලනික වශයෙන් අස්‌ථීරභාවය-අවුරුදු පහෙන් පහට දේශපාලනික වශයෙන් ආණ්‌ඩු වෙනස්‌වීම, ස්‌ථීරසාර සංවර්ධන ව්‍යාපාර ක්‍රියාත්මක කිරීමට බාධකයක්‌ව පවතී.


*  කර්මාන්තයක්‌ ආරම්භ කිරීමේ දී බොහෝවිට ප්‍රාග්ධන වියදම් රජයට දැරීමට සිදුවීම ද වර්තමාන ආර්ථික ක්‍රියාවලිය තුළ දක්‌නට ලැබේ. විශේෂයෙන්ම සංවර්ධි ත රටවල කර්මාන්ත ඇරඹීමට අවශ්‍ය තරම් පෞද්ගලික අංශයේ ව්‍යවසායකයෝ සිටිති. නමුත් ශ්‍රී ලංකාවේ තත්වය මේ අතින් ඉතා පහළ මට්‌ටමක පවතී.


*  කර්මාන්ත සඳහා අවශ්‍ය බලශක්‌තිය ප්‍රමාණවත් නොවීම, මෙන්ම ඉදිරි වර්ෂ සඳහා බලශක්‌ති ඉල්ලුමට ප්‍රමාණවත් පරිදි ජලවිදුලිය උත්පාදනය කිරීමේ සැලසුම් නොමැතිවීමත් ගැටලුසහගත වී ඇත. බලශක්‌ති උත්පාදනයට අවශ්‍ය ඛනිජතෙල් ආදිය ලබාගන්නේ විදේශ රටවලිනි. මේ නිසා රජයට විශාල වියදමක්‌ දැරීමට සිදුව ඇත. මෙයට විකල්ප විසදුමක්‌ සොයා නොගතහොත් ඉදිරියේ දී තත්වය තවත් බැරෑරුම් විය හැකිය.


*  ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයෙන් 53% පමණ හිමිකම් කියන්නේ බස්‌නාහිර පළාතයි. එනිසා අනෙකුත් පළාත්වල නිෂ්පාදන ධාරිතාව වැඩිකළ යුතුය. මෙය ලංකාවේ නාගරික සහ ගම්බද දිළිදුභාවයේ වෙනස්‌කමට ද බලපායි. ගම්බද ප්‍රදේශවල 38% පමණ සංඛ්‍යාත්මක දිළිදු භාවයක්‌ පෙන්නුම් කරයි. මෙයට හේතු වී ඇත්තේ නිෂ්පාදන ධාරිතාව බස්‌නාහිර පළාතට ඒකරාශි වී තිබීමයි. දරිද්‍රතා මට්‌ටම පැහැදිලි කලාපීය විෂමතාවන් පෙන්නුම් කරයි.


*  "විදේශීය ණය සේවා" අනුපාතිකයද අපගේ ආර්ථිකයට බලපා ඇති විශේෂිත වූ සාධකයකි. විශේෂයෙන්ම අපගේ මුදල් ඒකකය වන රුපියල අවප්‍රමාණය වීම නිසා විදේශ ණය ප්‍රමාණයෙහි අගය වැඩිවෙමින් පවතී.


*  ජනගහන ව්‍යාප්ති රටාවේ ඇතිවිය හැකි වෙනස්‌කම්ද වර්තමානයේ සිට අපගේ ආර්ථිකයට බලපෑම් ඇතිකරනු ඇතැයි ජනවිද්‍යාඥයෝ අනතුරු අඟවති. විශේෂයෙන්ම 2025 වන විට ලංකාවේ වියපත් ජනගහනය (වැඩිහිටි) වැඩිවීමේ ප්‍රවණතාවයක්‌ දක්‌නට ඇත. මෙයට මුහුණ දීමට අවශ්‍ය ක්‍රමෝපායන මාර්ග සමාජය විසින්ම කළමණාකරණය කරගත යුතුව ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017