22. ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික ක්‍රමය හා සංවර්ධනය
 

ශ්‍රී ලංකා ආර්ථික ක්‍රමයේ 19 වන සියවසේ මුල් භාගයේ පැවතියේ වැඩවසම් සමාජ ක්‍රමයකි. ඒ අනුව ආර්ථිකය මුළුමනින්ම යැපුම් කෘෂිකර්මය මත පදනම් වූ අතර රාජකාරි ක්‍රමය මත රැදුණු සේවාවන් ඇති වී තිබුණි. එකල සිටි ජනතාවගේ අවශ්‍යතාවන්ද, සීමිත වූ නිසා දේශීය ආර්ථිකය බොහෝ විට ස්‌වයංපෝෂිත තත්වයක පැවතුනේ යයි පැවසුව හොත් එය බොහෝ දුරට නිවැරදිය. බටහිර ජාතීන්ගේ සංක්‍රමණයත් සමඟම ක්‍රමයෙන් අපගේ ආර්ථිකයේ මුහුණුවර වෙනස්‌ වූ අතර විශේෂයෙන්ම වෙළඳ ආර්ථිකයකට පරිවර්තනය වීම දැකිය හැකිය. පෘතුගීසින් හා ලන්දේසීන් ලංකාව ආක්‍රමණය කිරීමේ මූලික පරමාර්ථය වූයේ, මෙරට කුරුදු වෙළඳාමේ ඒකාධිකාරය ලබාගැනීමටය.


මෙම තත්වය වඩාත් උග්‍ර වූයේ ඉංග්‍රීසින් ලංකාව යටත් කර ගැනීමත් සමඟය. 19 වන සියවස මැද  භාගයේ දී ශ්‍රී ලංකා ආර්ථිකය වතු ආර්ථිකයකට පරිවර්තනය වූ අතර මුලදී කෝපිවගාවෙන් ඇරඹුණු මෙය පසුව මහා පරිමාන තේ වගාව දකවාම පැතිරුණි. මේ හැර සින්කෝනා පසුකාලීනව රබර් සහ පොල් වගාව දක්‌වා ව්‍යාප්ත මෙම වතු ආර්ථිකය ශ්‍රී ලංකාවේ එතෙක්‌ පැවති ස්‌වයං පෝෂිත ආර්ථිකය උඩු යටිකුරු කරවීමට සමත්විය. 1840 දී ඉංග්‍රීසින් විසින් පණවන ලද "මුඩුබිම් පණත" නිසා දේශීය ඉඩම් බොහොමයක්‌ විශේෂයෙන්ම ඉතා අඩුමිලට විදේශික වතු හිමියන් වෙත පවරා දෙනු ලැබීය.

ශ්‍රී ලංකාව වතු ආර්ථිකයක්‌ බවට පරිවර්තනය වීමත් සමඟම කැපී පෙනෙන වෙනස්‌කම් කිහිපයක්‌ම සමාජ ආර්ථික රටාවේ සිදුවිය. වැවිලි කර්මාන්තය යනු ශ්‍රම සූක්‌ෂම වගාවකි. ශ්‍රී ලාංකිකයන් මෙම වතුවල වැටුපට වැඩ කිරීමට අකමැති වූ නිසා දකුණු ඉන්දීය සංක්‍රමණික කම්කරුවන් මෙරටට ගෙන්වා ගැනීමට සිදුවිය. මෙනිසා වර්තමානයේත් වතු ආර්ථිකය හා බද්ධ වී සිටින ද්‍රවිඩ කම්කරු ජනතාවක්‌ මධ්‍යම කදුකරයේ දැකිය හැකිය.


වැවිලි ආර්ථිකයේ අතුරු ඵල ලෙස වැඩවසම් ක්‍රමයෙන් එනම් යැපුම් කෘෂිකර්මයෙන් ආනයන අපනයන ආර්ථිකයකට පරිවර්තනය වීම කැපී පෙනේ. එමෙන්ම ප්‍රවාන සේවා දියුණු වීම. දුම්රිය මාර්ග පද්ධතිය ඇති වීම, වරාය දියුණුවීම, බැංකු ක්‍රමය හදුන්වාදීම මෙන්ම ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා උනන්දු වීම ආදිය විශේෂ කරුණු ලෙස දැක්‌විය හැකිය. මෙසේ ඇති වූ ආර්ථික පරිවර්තනයේ කැපී පෙනෙන වෙනසක්‌ මේ දක්‌වාම සිදු වී නොමැත. 1948 ලංකාවට නිදහස ලැබුණද, ආර්ථික වර්ධනයේ සැලකිය යුතු වර්ධනයක්‌ නොපෙනේ. ක්‍රමික ගලායාමක්‌ ලෙස පැවති ශ්‍රී ලංකා ආර්ථිකයේ කඩා වැටීමක්‌ දැකිය හැක්‌කේ 1971 රටතුළ පැවති සිවිල් යුද්ධයත් සහ 1983 ජාතිවාදී කෝලාහල පැවති අවධියෙත් ය.


මේ අවධියේ ශ්‍රී ලංකා ආර්ථිකයේ විශාල පසුබෑමක්‌ දක්‌නට ලැබේ. 1977 දී හදුන්වාදුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා ශුභවාදී මෙන්ම අශුභවාදී සංකල්පයන් රැසක්‌ ව්‍යාපාර ඇරඹීමට ඉදිරිපත් වීම නිසා විදේශ ආයෝජන ඉහළ ගියේය. එමෙන්ම ශුභ සාධන සංකල්පය හෙවත් නොමිලයේ හෝ සහන මිලට භාණ්‌ඩ සහ සේවා ජනතාවට සැපයීම අහෝසි කිරීමට රජය ඉදිරිපත් වීම දැකිය හැකිය. මෙකල ආර්ථිකයේ සහනාධාර ලබන්නන් අඩු වූ අතර මුද්දර සහනාධාරය මත සහනසේවා සැපයිනි. නිදහසින් පසු ආර්ථිකයේ ශුභසාධන වියදම් අඩුකොට ආර්ථික වර්ධනය සඳහා යෙදවූයේ නම් මීට වඩා හොඳ ප්‍රතිඵල ලබාගත හැකිව තිබුණි.

අපගේ ආර්ථිකය රඳා පැවතියේ තේ, පොල්, රබර් වැනි ප්‍රාථමික අපනයන මතය. මේවායින් ලැබූ මිල ස්‌ථාවර නොවීය. ස්‌ථාවර නොවූ ආදායම මත ආර්ථිකයක්‌ සැලසුම් කිරීම කළ නොහැකිය. ශ්‍රී ලංකා ආර්ථිකයට ප්‍රධාන වශයෙන් බලපෑවේ මෙම සංසිද්ධියයි. එනිසා ප්‍රාග්ධන හිඟය මත නව කර්මාන්ත ඇති කිරීම ආදිය ඇණ හිටියේය. එමෙන්ම කර්මාන්ත පිළිබඳ පුහුණුවක්‌ හෝ අත්දැකීමක්‌ අප රටට නොවීය. මෙනිසා ආර්ථික ක්‍රමය එකම දිශාවකට ගලා යාමක්‌ සිදුවිය. එමෙන්ම අධිරාජ්‍යවාදීන් දායාද කළ ආනයන අපනයන ආර්ථික ක්‍රමයෙන් අපට මීදීමට ද නොහැකි වී ඇත.


1980 වර්ෂයේ සිට ආරක්‌ෂක වියදම් ක්‍රමයෙන් වැඩිවීම හේතුවෙන් ද සංවර්ධන කටයුතු වලට බාධා පැමිණ ඇත. යුදවියදම් වැඩිවීම ආර්ථිකයේ සෑම අංශයකටම අයහපත් ලෙස බලපා ඇත.


යුද වියදම් ආර්ථිකයට බලපාන අයුරු :


1. යුද වියදම් අඩුවුවහොත් ඒ සඳා වැයකරන මුදල් සංවර්ධන කටයුතු සඳහා යෙදිය හැකිය.
2. යුද වාතාවරණය පහ වී ගියහොත් ආයෝජනවල තත්වය යහපත් වේ.
3. දැනට පවතින නිෂ්පාදන මට්‌ටම්වල ද තත්වය දියුණු වේ.
4. අවතැන් වූවන් සහ සහනාධාර සැපයීම සඳා වෙන්කෙරෙන කාලය සහ ධනය රටේ ආර්ථික අභිවෘද්ධියට යෙදවිය හැකිය.


ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික ක්‍රමය ගැන සලකා බැලීමේ දී ආර්ථික අංශයේ දියුණුවක්‌ පෙන්නුම් කරන අංශ කීපයක්‌ ද දක්‌නට ලැබෙයි.


*  ඒක පුද්ගල ආදායම නිදහසින් පසු දෙගුණ වී ඇත.
*  සේවා නියුක්‌ති අවස්‌ථාවන් වැඩි වී ඇත.
*  දරිද්‍රතාවය 60 දශකයට වඩා අඩු වී ඇත.
*  ශ්‍රී ලංකා ආර්ථිකය ඉහළ මට්‌ටමේ පෞද්ගලික ස්‌වයංධරණී මට්‌ටමකට අවතීර්ණ වීම
*  ආයෝජනය ඉහළ මට්‌ටමකට පවත්වා ගැනීමට උනන්දු වීම.
*  සංවර්ධිත රටවල මට්‌ටමට ළඟාවූ කරුණු රැසක්‌ තිබීම.
   (සාක්‌ෂරතාවය, උපත් අනුපාතිකය හා ආයු අපේක්‌ෂාව යන අංශවලින් අප රටට සංවර්ධිත රටවල අගයන් හා සමාන වේ.)


ඉහත දක්‌වා ඇත්තේ නිදහසින් පසු අපගේ ආර්ථිකයේ වෙනස්‌කම් වලට බදුන් වූ කරුණු ය.

(c) Shilpa Sayura Foundation 2006-2017