21. වෙළඳ පොල ආර්ථික සංකල්පය හා එහි විවිධ ස්‌වරූප හදුනාගැනීම
 

විකුණුම්කරුවන් සහ මිලදී ගන්නන් අතර ව්‍යාපාරික සම්බන්ධතා ගොඩනැගෙන තත්වයක්‌ වෙළඳපළක්‌ ලෙස හැඳින්වේ.
වෙළඳපල ආර්ථික සංකල්පය යනු මිල ක්‍රමය මත මූලික ආර්ථික ප්‍රශ්න විසඳනු ලබන ආර්ථික ක්‍රමයකි. මෙහි භාණ්‌ඩ සහ සේවා වල මිල ගණන් තීරණය වනුයේ ඉල්ලුම සහ සැපයුම මතය. වෙළඳපල ආර්ථික ක්‍රමයක කුමක්‌, කොපමණ ප්‍රමාණයක්‌, කා සඳහා පිළිතුරු සොයන්නේ මිල ගණන් පදනම් කර ගෙනය. වෙළඳපොලේ පවතින මිල ගණන් පාරිභෝගික ප්‍රතිචාරය පෙන්නුම් කරයි.


පාරිභෝගික ඉල්ලුම යනුවෙන් ආර්ථික විද්‍යාවේ දී හදුන්වන්නේ නිශ්චිත අවස්‌ථාවකදී තම අවශ්‍යතාව අනුව මිලදී ගැනීමේ හැකියාව හෙවත් ක්‍රය ශක්‌තිය අනුව පාරිභෝගිකයා මිල දී ගන්නා භාණ්‌ඩ ප්‍රමාණයයි. මෙම ඉල්ලුම සඳහා ප්‍රධාන වශයෙන් බලපාන කරුණු වන්නේ.


1. අවශ්‍යතාව  (උවමනාව)
2. ක්‍රය ශක්‌තිය  (මිල දී ගැනීමේ හැකියාව)


වෙළඳපල ආර්ථිකය රඳා පවතිනුයේ ඉල්ලුම සහ සැපයුම මතය. මෙය ඉල්ලුම් සැපයුම් න්‍යාය වේ.


* ඉල්ලුම වැඩිවන විට භාණ්‌ඩවල මිල ද වැඩි වේ.
* ඉල්ලුම අඩුවන විට භාණ්‌ඩවල මිල ද අඩු වේ.


මේ අනුව ඉල්ලුම ඉහළ අගයක්‌ ගන්නා, මිල ගණන් ද ඉහළ යන භාණ්‌ඩ වැඩිපුර නිෂ්පාදනය කෙරේ. ඉල්ලුම අඩු භාණ්‌ඩ අඩු ප්‍රමාණයකින් නිපද වේ. මෙහිදී මිල ගණන් මත භාණ්‌ඩයේ නිෂ්පාදන ධාරිතාව තීරණය කර ඇත. වැඩි මිලක්‌ ඇති භාණ්‌ඩ වැඩිපුර නිෂ්පාදනය කොට අලෙවි කිරීමෙන් ලාභය වැඩිකර ගත හැකි නිසා මෙසේ නිෂ්පාදන තීරණ ගනු ලබයි.


1. වෙළඳපල ආර්ථික සංකල්පය යටතේ කුමක්‌ නිෂ්පාදනය කළ යුතු ද යන්න මිල මත තීරණය වන බව අපි ඉහත සඳහන් කළෙමු. ළුපරිම ලාභයක්‌ ලැබිය හැකි වැඩි ඉල්ලුමක්‌ සහිත භාණ්‌ඩ නිෂ්පාදනය මෙහි ලා වැදගත් වේ.


2. කොපමණ ප්‍රමාණයක්‌ නිෂ්පාදනය කළ යුතු දැයි තීරණය කරනුයේ ද මිල ක්‍රමයයි. අඩු ලාභයක්‌ ලැබිය හැකි භාණ්‌ඩ අඩු ප්‍රමාණයක්‌ නිෂ්පාදනය කරන අතර ඉහළ මිලක්‌ යටතේ ඉහළ ප්‍රමාණයක්‌ ද නිෂ්පාදනය වේ. එමඟින් නිෂ්පාදකයා ගේ අපේක්‌ෂාවන් ඉටුකර ගත හැකිය.


3. කවුරුන් සඳහා නිපදවිය යුතුද ප්‍රශ්නයට වෙළඳපොල ආර්ථිකය පිළිතුරු සපයන්නේ මිල දී ගත හැකි පාරිභෝගිකයන් තෝරාගැනීමෙනි. වැඩි ආදායම් උපයන පවුල්වලට වැඩිපුර භාණ්‌ඩ මිලදී ගත හැකි අතර අඩු ආදායම් ලාභීන්ට මිල දී ගත හැක්‌කේ අඩු භාණ්‌ඩ ප්‍රමාණයකි. මෙයට අමතරව සමාජයේ ජනගහන ස්‌ථරය හරහා ද භාණ්‌ඩ හා සේවා නිෂ්පාදනය තීරණය වේ. විශේෂයෙන්ම ජනගහනය තුළ වෙසෙන්නේ ළමුන් ද, තරුණ තරුණියන් ද වැඩිහිටියන් ද යන ප්‍රමාණය මත භාණ්‌ඩ හා සේවා නිෂ්පාදනය රැඳේ. උදාහරණ ලෙස, යම් සමාජයක කුඩා දරුවන්ගේ ප්‍රතිශතය වැඩි වේ නම් එම සමාජයේ නිෂ්පාදන කුඩා දරුවන්ගේ අවශ්‍යතා සඳහා අවශ්‍ය වන භාණ්‌ඩ නිෂ්පාදනයට මූලිකත්වය ලබා දෙයි. මේ නිසා සමාජ ස්‌ථරයේ වාසය කරන ජනගහනයේ වයස්‌ ව්‍යුහය නිෂ්පාදන ක්‍රියාවලියට බලපෑමක්‌ එක්‌කරන බව පෙන්වා දිය හැකිය. එසේ ම යම් යම් ප්‍රදේශවල ජීවත්වන ජනකණ්‌ඩායම් වල අවශ්‍යතාවන් ද භාණ්‌ඩ හා සේවා නිෂ්පාදනයේ දී බලපෑමක්‌ ඇතිකරයි. උදාහරණ ලෙස මුස්‌ලිම් ජනතාව ජීවත්වන ප්‍රදේශවල ඔවුන්ගේ අවශ්‍යතා සඳහාවන භාණ්‌ඩ නිපද වේ. දමිළ ජනතාව වාසය කරන ප්‍රදේශවල ඔවුන් සඳහාම විශේෂ වූ ආහාර, වර්ණවත් ඇදුම් ආදියට වෙළඳ පොල විවෘත වේ. මෙනිසා සමාජ ස්‌ථරවල වයස්‌ ව්‍යුහය ජන කණ්‌ඩායම්වල සංස්‌කෘතිමය බලපෑම් ආදිය ද භාණ්‌ඩ සහ සේවා සැපයීමේ දී මූලික වන බව පෙන්වා දිය හැකිය.


4. කෙසේ නිෂ්පාදනය කළ යුතු ද යන්න සඳහා අඩු පිරිවැයක්‌ සහ ඵලදායිතාවයක්‌ මෙන්ම කාර්යක්‌ෂමතාවයක්‌ ඇති ක්‍රමය යොදාගෙන භාණ්‌ඩ නිෂ්පාදනය කෙරේ. මේ සඳහා ශ්‍රමය බහුලව ඇති රටවල ශ්‍රමයට ගෙවිය යුතු මිල අවම තත්වයක පවතී. එවැනි රටවල් ශ්‍රම සූක්‌ෂම ක්‍රම නිෂ්පාදනයට යොදා ගැනේ. එමෙන්ම ප්‍රාග්ධන අඩු මිලකට ලබාගත හැකිනම් ප්‍රාග්ධන සූක්‌ෂම ක්‍රමය ද යොදාගෙන නිෂ්පාදනය කෙරේ. මෙය රටින් රටට මෙන්ම කර්මාන්තය අනුව ද වෙනස්‌ වේ.


වෙළඳපල ආර්ථික ක්‍රමයේ ඇති වාසි :

1. පාරිභෝගිකයාගේ අවශ්‍යතා මත (ඉල්ලුම අනුව) භාණ්‌ඩ නිෂ්පාදනය වීම.
2. අඩු පිරිවැයකින් භාණ්‌ඩ නිෂ්පාදනය කිරීමට නිෂ්පාදකයා උනන්දුවන නිසා සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලැබේ.
3. උනන්දුව කැපවීම ඇති ව්‍යවසායකයාට නිෂ්පාදනය දියුණුකර ලාභය පෞද්ගලිකව ලබාගත හැකිය.
4. රජයේ මැදිහත්වීමකින් තොරව ඉල්ලුම සැපයුම යන න්‍යාය මත වෙළඳපොල ආර්ථිකය දියුණු වේ.
5. ව්‍යවසායකයා වෙළඳපොල අවශ්‍යතාවන් ගැන උනන්දුවන නිසා නව නිපැයුම් බිහිකිරීමේ හැකියාව වැඩිය.
6. තරඟකාරිත්වය නිසා මිල ඉහළයාම, තත්වයෙන් බාල භාණ්‌ඩ නිෂ්පාදනය ස්‌වයංක්‍රීයව ඇණ හිටී. මෙය පාරිභෝගිකයාට සහනයකි.

වෙළඳපල ආර්ථිකයේ අවාසි :

1. භාණ්‌ඩ නිෂ්පාදනය මිල මත තීරණය වන නිසා සමාජයට අත්‍යවශ්‍ය භාණ්‌ඩ සමහරක්‌ නිෂ්පාදනය නොවිය හැකිය. මිලක්‌ අය කළ නොහැකි භාණ්‌ඩ හා සේවා එනම් වීදි ලාම්පු, ප්‍රදීපාගාර, ජාතික ප්‍රවාහනය ආදී සේවාවන් ඉටු කිරීමට ව්‍යවසායකයා උනන්දු නොවේ.

2. මුදල් මත හඹායන සමාජයක්‌ ඇතිවීම නිසා මිනිස්‌ ජීවිතවල වටිනාකම නොසැලකීම. මත් ද්‍රව්‍ය උවදුර වැනි සමාජයට අහිතකර බලපෑම් ඇතිවිය හැකිය.

3. පරිසර දුෂණය වැනි දේ වැඩි විය හැකිය.

4. වෙළඳපල ආර්ථික ක්‍රමය නිසා ආර්ථික බලය කේන්ද්‍රගත වීමෙන් සමහර විට ආණ්‌ඩු බලය පෙරැළීමට හෝ පිහිටුවීමට වෙළඳපල ආර්ථිකයට හැකියාව ලැබීම.

(c) Shilpa Sayura Foundation 2006-2017