මිශ්‍ර ආර්ථික ක්‍රමය
 

ධනවාදී ආර්ථික ක්‍රමයේත්, සමාජවාදී ආර්ථික ක්‍රමයේත් සංකලනයක්‌ ලෙස මෙම ක්‍රමය හැඳින්විය හැකිය. පෞද්ගලික අංශය ලාභ අපේක්‌ෂාවෙන් ද රජයේ අංශය සුභසාධක අංශයෙන් ද කටයුතු කිරීම මෙම ආර්ථික ක්‍රමයේ ලක්‌ෂණයයි. මෙවැනි රටවල රජයට සහ පෞද්ගලික අංශය යන දෙපාර්ශවයම සම්පත් හිමි වේ. ඇතැම් රජයේ නිෂ්පාදන සහ සේවා කටයුතු රජයේ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්‌ථා ආදියෙන් ඉටු කෙරෙන අතර පෞද්ගලික අංශය ද තරඟකාරි ලෙස භාණ්‌ඩ නිෂ්පාදනය සහ සේවා සඳහා හවුල් වී සිටී. ශ්‍රී ලංකාවේ පවතින්නේ මිශ්‍ර ආර්ථික ක්‍රමයක ලක්‌ෂණයන් ය.


ශ්‍රී ලංකාවේ දුම්රිය, වරාය, සෞඛ්‍ය සේවය, අධ්‍යාපනය ආදිය පවත්වාගෙන යනු ලබන්නේ රජය විසින් පාඩුව දරාගනිමින් සහන සේවාවන් වශයෙනි. මෙය සමාජවාදී අර්ථ ක්‍රමයක ලක්‌ෂණයන්ය. නමුත් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන පෞද්ගලික අංශයේ වාණිජ, සංචාරක සේවා, ගුවන් සේවා පෞද්ගලික බස්‌සේවා ආදිය ලාභ අපේක්‌ෂාවෙන් ධනවාදී අර්ථක්‍රමයකට අනුව පවත්වාගෙන යනු ලබයි.


මිශ්‍ර ආර්ථික ක්‍රමයේ ලක්‌ෂණ :


1. රජය සහ පෞද්ගලික ව්‍යවසාය මගින් ආර්ථික කටයුතු වලට දායකත්වය ලබාදෙයි.
2. පෞද්ගලික ව්‍යවසායකයා ලාභ අපේක්‌ෂාවෙන් කටයුතු කරන අතර රජය සුභ සාධනය අරමුණු කරගෙන කටයුතු කරයි.
3. පෞද්ගලික අංශය තරඟකාරී වෙළඳ අරමුණු වලට මෙන්ම රජයේ තීරණවලට ද අනුකුලව කටයුතු කරයි.
4. සමාජ ශුභසාධනය උදෙසා කෙරෙන කටයුතු බොහෝ විට ඉටුවන්නේ රාජ්‍ය අංශය මඟිනි.
5. ආදායම් බෙදීයාමේ අසමානතාවය නැති කිරීමට රාජ්‍ය අංශය උත්සාහ දැරූවත් ධනය බෙදීයාමේ අසමානතාවයක්‌ සමාජය තුළ පවතී. මෙහිදී සමාජවාදී ආර්ථිකයකට වඩා වැඩි මට්‌ටමකින් ධනය ජනතාවට හිමි වී ඇත.
6. මෙහි රාජ්‍ය අංශයේ ඒකාධිකාරයක්‌ දක්‌නට නොලැබේ. පෞද්ගලික අංශයේ පාරිභෝගික ස්‌වාධිපත්‍යය ද පූර්ණ වශයෙන්ම දක්‌නට නොලැබේ.


පූර්ණ ධනවාදී අර්ථක්‍රම මෙන්ම පූර්ණ සමාජවාදී අර්ථක්‍රම ලොව දක්‌නට නොලැබෙයි. ඒවා සත්‍ය ලෝකයේ ඇතිවිය ද නොහැකිය. දැනට දක්‌නට ලැබෙන ආර්ථික ක්‍රම ධනවාදී මෙන්ම සමාජවාදී ආර්ථික ක්‍රමයන්හි සංකලනයකි. මෙම ලක්‌ෂණ මිශ්‍රවීම අනුව ධනවාදී සහ සමාජවාදී ලක්‌ෂණ සමානුපාතිකව මිශ්‍ර වී ඇති ආර්ථික ක්‍රමයක්‌ මිශ්‍ර ආර්ථික ක්‍රමයක්‌ ලෙස හැඳින්විය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017