ධනවාදී ආර්ථික ක්‍රමය යටතේ ප්‍රධාන ධනෝපායන මාර්ග හෙවත් නිං\පාදන සම්පත් වන අයිතිය පෞද්ගලික අංශය සතු වේ. පෞද්ගලික අංශය තමන් සතු මූල්‍ය සම්පත් යොදවා උපරිම ලාභ ලැබීමේ අපේක්‌ෂාවෙන් නිෂ්පාදන ක්‍රියාවලිය මෙහෙයවති. ඔවුහු තමන් නිපදවන භාණ්‌ඩ විකුණා ලාභ ලබාගන්නා අතර එය මිල ක්‍රමය මත පදනම් වූ ආර්ථික ක්‍රියාවලියක් වේ. උදාහරණයක් ලෙස ධනවාදී ආර්ථික ක්‍රමය මත නිෂ්පාදකයා භාණ්‌ඩ නිෂ්පාදනය කරනු ලබන්නේ සමාජයට වැඩි ප්‍රයෝජනයක් ලබාගත හැකි භාණ්‌ඩ වලට වඩා තමන්ට උපරිම ලාභයක් ලබාගත හැකි භාණ්‌ඩ නිෂ්පාදනය කිරීම සඳහාය.
ධනවාදී ආර්ථික ක්‍රමයක භාණ්‌ඩ නිපදවීමේ කාර්යය වෙළඳපොල ඉලක්‌ක කරගෙන සිදුවේ. මේ පිළිබඳ සියලු තීරණ ගනුලබන්නේ පෞද්ගලික අංශයයි. මේ සඳහා වෙළඳපොලේ භාණ්‌ඩ සඳහා ඇති ඉල්ලුම මෙන්ම යඑට ලැබෙන මිල, ලාභය වැනි සාධක බලපායි. ඉල්ලුම් සැපයුම් න්‍යාය ඉතා දැඩිලෙස මෙම අර්ථක්‍රමයේ දී බලපෑමට ලක්‌වේ. ඉල්ලුම අඩු භාණ්‌ඩවලට අඩුමිලක් ද ඉල්ලුම වැඩි භාණ්‌ඩ වලට වැඩි මිලක් ද ලැබීමෙන් නිෂ්පාදනයේ දී වැඩි මූල්‍ය ධනයක් යොදවා නිෂ්පාදකයා ඉල්ලුම වැඩි භාණ්‌ඩ නිපදවා ලාභය උපරිම කර ගනී.
ධනවාදී ආර්ථික ක්‍රමයක් ඇති රටවලට නිදසුන් ලෙස ඇමෙරිකා එක්‌සත් ජනපදය, එක්‌සත් රාජධානිය, ජපානය, බටහිර යුරෝපා රටවල්, කැනඩාව, ස්‌වීඩනය, ඕස්‌ට්‍රේලියාව ආදී රටවල් දැක්‌විය හැකිය.
මෙවැනි රටවල පාරිභෝගිකයා සඳහා අත්‍යවශ්‍ය භාණ්‌ඩ නිෂ්පාදනය කරනු වෙනුවට උපරිම ලාභ ලැබෙන යුද උපකරණ ආදී දේ නිපදවීමට පෙළැඹිය හැකිය. එනිසා ධනවාදී අර්ථක්‍රමයක භාණ්‌ඩ නිෂ්පාදනය කුමක් සඳහා, කොපමණ, කෙසේ, කා සඳහා නිපදවන්නේ ද යන්න තීරණය වන්නේ මිල යන්ත්‍රණය මඟිනි. එබැවින් මිල යාන්ත්‍රණය මුළු මහත් ආර්ථිකය පාලනය කරනු ලබන නිසා ධනවාදී ආර්ථිකය අදෘශ්‍යමාන හස්‌තයකින් පාලනය වෙතැයි සැලකේ.
ධනවාදී අර්ථ ක්‍රමයක ලක්‌ෂණ :
1. රටෙහි බොහෝ සම්පත් වල අයිතිය පෞද්ගලික අංශය සතු වේ.
2. නිෂ්පාදනයේ සිට බෙදා හැරීම දක්‌වා සියලු කටයුතු නිරතව සිටින්නේ පෞද්ගලික ව්‍යවසායකයන්ය.
3. උපරිම ලාභ අපේක්‌ෂාව නිෂ්පාදන ක්‍රියාවලියේ පරමාර්ථයයි.
4. ආර්ථිකය හසුරුවනු ලබන්නේ මිල ක්‍රමයයි.
5. පෞද්ගලික අංශයට තම නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධව ස්‌වාධීන තීරණ ගත හැකිය.
6. නිෂ්පාදන ක්‍රියාවලියේදී නිෂ්පාදකයන් අතර දැඩි තරඟකාරි බවක් ඇත.
7. ආදායම් බෙදීයාමේ දැඩි පරතරයක් දක්‌නට ඇත. (ඇති නැති පරතරය)
8. ආර්ථික කටයුතුවලට සම්බන්ධ වන සියලු දෙනාගේ අභිප්‍රාය ස්‌වාර්ථය වේ.
9. ආර්ථික බලය විමධ්‍යගත වී ඇත. නිෂ්පාදකයන් රැසක් ස්‌වාධීන පාරිභෝගිකයන් රැසක් ද ඇති නිසා මෙසේ ආර්ථික බලය විසිරී පවතී.
10. පාරිභෝගිකයාට ස්‌වාධිපත්‍යයක් හිමිවන නිසා ඔහු හැසිරෙන ආකාරයට භාණ්‌ඩවල මිල තීරණය වේ. නමුත් නූතන තාක්‌ෂණය සමඟ නිෂ්පාදකයාට පාරිභෝගිකයා හැසිරවිය හැකි බව පෙනේ. (උදා : රූපවාහිනී වෙළඳ ප්‍රචාර)
11. නව නිපැයුම් බිහිකිරීමේ හැකියාව වැඩිය. ව්‍යවසායකයන් නිරතුරුව වෙළඳ පොලේ අවශ්‍යතා ගැන උනන්දුවේ. එනිසා ඔහු නිරතුරුවම නව නිෂ්පාදනයකට යොමු වේ.
12. ජාත්‍යන්තර වෙළඳපොළට නිෂ්පාදන ලබාදීමෙන් ලබාගත හැකි ආර්ථික වාසි ඉහළ මට්‌ටමක පවතී.
සත්‍ය ලෝකයේ සම්පූර්ණ ධනවාදි රටවල් ලෙස දැකිය නොහැක. එයට හේතුව අවශ්‍ය අවස්‌ථාවලදී රාජ්‍ය මැදිහත් වීම මෙම රටවලද දක්‌නට ලැබේ. නමුත් සාපේක්‌ෂ වශයෙන් ධනවාදි ආර්ථික ලක්‌ෂණ වැඩිපුර විද්‍යාමා වන රටවල් ධනවාදි ආර්ථික ක්‍රමයක් ඇති රටවල් වශයෙන් සැලකේ. මෙම රටවල ද සමාජයීය අවශ්‍යතා මත ආහාර, සෞඛ්‍යය, නිවාස, අධ්‍යාපනය වැනි කටයුතු නොමිලේ හෝ සහනදායි මිලකට සපයන අවස්‌ථා ද දැකිය හැකිය. නිදසුනක් ලෙස, හිට්‌ලර්ගේ පාලනය යටතේ ජර්මනියේ මධ්‍යගත සැලසුම් ධනවාදි ආර්ථික ක්‍රමයක් තිබුණි.
ධනවාදී රටවල ආර්ථිකයට රජය මැදිහත්වන අවස්‌ථා :
1. පාරිභෝගිකයාට දැරිය නොහැකි මිල ගණන් තීරණය කරමින් නිෂ්පාදකයා පාරිභෝගිකයා සූරාකන අවස්‌ථාවල මිල පාලනය, සහතික මිල ආදිය නියම කිරීම.
2. නිෂ්පාදකයන් ධෛර්යමත් කිරීමට අවශ්‍ය අවස්‌ථාවල නව නිෂ්පාදන කරා යොමු කිරීමට අවශ්‍ය වූ විට
3. ඇතැම් භාණ්‌ඩ වල පාරිභෝජනය වැඩි කිරීමට, සෙ|ඛ්‍ය වැනි හේතු මත නව භාණ්‌ඩ හදුන්වාදීමට.
4. පාරිභෝගික ආරක්‌ෂාව සැලසීමට මිල පාලනය කිරීමෙන් හා ගුණාත්මක, ප්‍රමිති ගත භාණ්‌ඩ නිෂ්පාදනයට අවශ්‍ය නීති රීති සැකසීම.
5. ඒකාධිකාරි ව්‍යාපාර ඇතිවීම වැලැක්‌වීමට අවශ්‍ය වූ විට.