බහු සංස්‌කෘතික සමාජ සංකල්පය සහ එහි මූලික ලක්‌ෂණ
 

සංස්‌කෘතිය යන්නෙන් අදහස්‌ වන්නේ යම් සමාජයක පවතින සමස්‌ත ක්‍රියාවලිය වේ. මෙවැනි සමස්‌ත ජීවන ක්‍රමයක්‌ රහිත සමාජයක්‌ හෝ පුද්ගලයෙකු හෝ නොමැත. කෙතරම් සරල සමාජයක වුවද සංකීර්ණ සමාජයක වුවද තමන්ට අයත් සංස්‌කෘතියක්‌ තිබේ. ඒ අනුව සෑම මනුෂ්‍යයෙකුම සංස්‌කෘතික සමාජයක එක්‌ පුරුකකි. මෙසේ එක්‌වන ක්‍රියාවලීන් අනුගමනය කරන ජනතාව තුළින් එක්‌ සංස්‌කෘතික සමාජයක්‌ ගොඩනැගේ. මෙවැනි එක්‌ සමාජයක්‌ හෝ කිහිපයක්‌ රටක තිබිය හැකිය.


බහු සංස්‌කෘති සමාජ යනුවෙන් අර්ථ ගැන්වෙන්නේ එකම රටක්‌ තුළ විවිධ භාෂා කථාකරන, විවිධ ආගම් අදහන, විවිධ ජාතීන් අයත්, විවිධ ප්‍රදේශවල වෙසෙන, විවිධ කුලවලට අයත්, විවිධ සංස්‌කෘතික අංග අනුගමනය කරන පිරිසක්‌ සිටින විටය.


බහු සංස්‌කෘතික සමාජවල පොදු ලක්‌ෂණ :


1.  මෙම සියලු සංස්‌කෘතීන් අනුගමනය කරන සියල්ලෝම මනුෂ්‍යයෝය.
2.  බොහෝ විට තමා උත්පත්තිය ලබන පවුලෙන් මෙම සංස්‌කෘතික ලක්‌ෂණ උරුම වේ.
3.  මෙම සංස්‌කෘතික අංග කාලීනව වෙනස්‌වීම් වලට ලක්‌වෙයි.
4.  සෑම අවස්‌ථාවකම තමා අයත් සංස්‌කෘතික ලක්‌ෂණ ඇති කොට්‌ඨාශය උසස්‌ යන
     හැඟීමෙන් යුක්‌ත වීම.
5.  පරිපාලනමය තීරණ ගැනීමේදී සෑම සංස්‌කෘතියකටම සමානත්වයෙන් සැලකීම.


බහු සංස්‌කෘතික සමාජයක්‌ ඇතිවීමට බලපාන සාධක


මෙවැනි සමාජයක්‌ ඇතිවීමට හේතුන් ගණනාවක්‌ බලපෑ හැකිය. බොහෝ විට ඈත අතීතයේ පටන් පැවති සමාජ සම්බන්ධතාවල ප්‍රතිඵල ලෙස මෙවැනි බහු සංස්‌කෘතික සමාජ ඇති වේ.


1.  සංක්‍රමණ
2.  ආක්‍රමණ
3.  විවාහ සම්බන්ධතා
4.  වෙළඳ සම්බන්ධතා


සංක්‍රමණ :


බොහෝවිට කණ්‌ඩායමක්‌ සංක්‍රමණිකයන් ලෙස තවත් රටකට හෝ ප්‍රදේශයකට යනවිට තමන්ගේ සංස්‌කෘතික අගයන් ද ඒ සමඟම ගෙනයයි. ණිදසුනක්‌ ලෙස තමන් අදහන ආගම, සිරිත් විරිත්, විශ්වාස, ඇදුම් පැළදුම්, චාරිත්‍ර ආදිය තවදුරටත් රැකගැනීමේ ප්‍රයත්නයක යෙදෙයි. මෙනිසා තවත් ජනකොට්‌ඨාශයක්‌ තුළට මෙවැනි සංක්‍රමණික කණ්‌ඩායම් පැමිණි විට බහු සංස්‌කෘතික සමාජ ඇතිවේ. බොහෝ විට බලවත් සංස්‌කෘතියක්‌ විසින් දුර්වල සංස්‌කෘතියක්‌ යටපත් කිරීම සාමාන්‍යය සිද්ධියක්‌ ලෙස පෙනුනද සංස්‌කෘතීන් දෙකක එකතුවෙන් නව සංස්‌කෘතියක්‌ බිහිවීම ද නොවැලැක්‌විය හැක්‌කකි. උදාහරණ ලෙස ඉන්දියාවේ සිට මෙරටට බුදුදහම ගෙන ඒමත් සමඟ සංස්‌කෘතික අංග සියල්ලම මෙරට මුල් බැස ගැනීම. මධ්‍යම ක දුකරයේ තේ සහ කෝපි වතුවල වැඩට ගෙන ආ ද්‍රවිඩ කම්කරු ජනතාව නිසා මධ්‍යම ක දුකරයේ වතු ආශ්‍රිත ද්‍රවිඩ සංස්‌කෘතියක්‌ බිහිවීම ද තවත් හොද උදාහරණයකි.


ආක්‍රමණ :


ආක්‍රමණ තුළින් ද රටක්‌ තුළට වන සංස්‌කෘතික අංග එක්‌විය හැකිය. ආක්‍රමණ මෙහෙවන්නෝ මනුෂ්‍යයෝය. ඔවුන් යම් ප්‍රදේශයකට ආක්‍රමණිකයන් ලෙස පැමිණ, එම ප්‍රදේශයේ ජන කොටස්‌ යටපත් කිරීම තුළින් තම සංස්‌කෘතික අංග ඔවුන් තුළ බලහත්කාරයෙන් පැටවීම හෝ පවතින සංස්‌කෘතික ලක්‌ෂණ විසින් පැමිණි නව සංස්‌කෘතික ලක්‌ෂණ ගිල ගැනීම හෝ කළහැකිය. එවැනි අවස්‌ථාවක එම රටේ පැවති සංස්‌කෘතියත්, අලුතින් පැමිණි සංස්‌කෘතියත්, සංස්‌කෘතීන් දෙක මිශ්‍ර වීමෙන් නව සංස්‌කෘතියක්‌ බිහිවීම ද වියහැකිය. උදාහරණ ලෙස අරාබිවරු ආක්‍රමණ මෙහෙය වූ බොහෝ රටවල මුස්‌ලිම් සංස්‌කෘතික අංග මුල් බැසගෙන තිබෙන බව පෙන්වා දිය හැකිය. ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ සංස්‌කෘතිය මෙහි මුල් බැසගෙන ඇත්තේ මුලදී ආක්‍රමණිකයන් ලෙස මෙරටට පැමිණි ද්‍රවිඩ ජනයා පසුකාලීනව මෙම ප්‍රදේශවල පදිංචි වී ස්‌වකීය සංස්‌කෘතික අනන්‍යතාවන් ආරක්‌ෂා කරගෙන ජීවත්වූ නිසා බැව් පෙනේ.


විවාහ සම්බන්ධතා :


විවාහ සමීබන්ධතා තුළින් ද බොහෝ විට බහු සංස්‌කෘතික ලක්‌ෂණ ඇතිවිය හැකිය. උපතින් තමාට උරුම වූ සංස්‌කෘතික ලක්‌ෂණ විවාහය නිසා බෑහැර කරලීමට බොහෝ අය උත්සුක නොවේ. වෛවාහික දෙපාර්ශවයන් තම සංස්‌කෘතීන් වෙන වෙනම පවත්වාගෙන යන අවස්‌ථාත් එකිනෙකාගේ සංස්‌කෘතීන්ට ගරුකරමින් ඒවා වැළඳගනු ලබන අවස්‌ථාත් දක්‌නට ඇත. ලංකා ඉතිහාසයේ පොළොන්නරු යුගයේ රජවරුන් විවාහ කරගත් දකුණු ඉන්දීය කුමාරිකාවන් වෙනුවෙන් දේවාල පවා තනා එම සංස්‌කෘතික අංගයන් පවත්වා ගෙනයාමට රාජ අනුග්‍රහය ලබා දී තිබේ. පසුකාලීනව දකුණු ඉන්දීය ද්‍රවිඩ ආභාෂය නිසා රාජ්‍යත්වයේ උරුමය පියාගෙන් පුතාට හෝ සොහොයුරාට හිමි වීමේ ශ්‍රී ලාංකික සම්ප්‍රදායෙන් බැහැර වී දකුණු ඉන්දීය ක්‍රමයට බිසවගේ සොහොයුරෙකුට හිමිවීමේ ලක්‌ෂණය දක්‌වා වැඩිදියුණු විය.

වෙළඳ සම්බන්ධතා :


වෙළඳ සම්බන්ධතා ද බහු සංස්‌කෘතික සමාජ ඇතිවීමට ඉවහල් වේ. ඈත අතීතයේ පටන් පෙරදිග වෙළඳාම පැවතියේ මුස්‌ලිම්වරුන් අතය. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ලංකාවට පැමිණි මුස්‌ලිම්වරුන් ඉස්‌ලාම් දහම මෙන්ම මුස්‌ලිම් සංස්‌කෘතියත් පවතින අනෙක්‌ සංස්‌කෘතීන් තුළට ගෙන ආහ. අදත් ශ්‍රී ලංකාවේ මුස්‌ලිම් සමාජයත් ඉස්‌ලාම් දහමත් ආරක්‌ෂා වී තිබේ. ඉන්දියාවේ මෝගල් අධිරාජ්‍යය ඇතිවීමට බලපෑවේ ද මෙසේ වෙළඳාම පිණිස එරටට පැමිණි මුස්‌ලිම්වරුන් නිසා ය. සියවස්‌ ගණනාවක්‌ තුළ වෙළඳාමී කටයුතු සඳහා එරටට පැමිණි ඔවුන්ට සිය ආධිපත්‍ය ද එරට විසුරුවා හැරීමට අපහසුවක්‌ නොවීය. මෙනිසා මැදපෙරදිග බිහි වූ ඉස්‌ලාම් දහම යුරෝපය පුරාත් ආසියාතික රටවල්වලත් ව්‍යාප්ත වූවා පමණක්‌ නොව ඒ හා බැදුණු සංස්‌කෘතිය ද ලොව පුරා ප්‍රචලිත විය.

ක්‍රි.පූ. 4-5 වන සියවස්‌වල බලයට පත් ග්‍රීකයන් ද ඔවුන්ගේ පාලනයට නතු වූ ප්‍රදේශවලත් ඔවුන් වෙළඳ සම්බන්ධතා පවත්වාගත් රටවලත් ස්‌වකීය සංස්‌කෘතික අංග මුල් බැස ගැනීමට ඉඩ හැරියහ. මෙනිසා ග්‍රීකයන් සතු කලා ශිල්ප ආදිය අදත් නෂ්ටාවශේෂ වශයෙන් අධිරාජ්‍යය පැතිරී තිබුණු ප්‍රදේශවල දැකගත හැකිය.


ක්‍රි.ඵු. 570 දී පමණ රෝම අධිරාජ්‍යය ලොව බලවත් අධිරාජ්‍යයක්‌ බවට පත් ව තිබුණි. ඔවුන් ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, ඕස්‌ට්‍රියාව, බෝල්කන් අර්ධද්වීපය, ග්‍රීසිය, සුළු ආසියාව සහ මධ්‍යධරණී ප්‍රදේශ ස්‌වකීය අධිරාජ්‍යයට ඇඳාගෙන තිබුණි. මෙනිසා රෝමවරුන්ගේ සංස්‌කෘතිය ඔවුන් අදහන ආගම වූ ක්‍රිස්‌තියානි ආගම මෙන්ම රෝම නීති ක්‍රම මෙම ප්‍රදේශවල ව්‍යාප්ත විය.


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සලකා බැලූ විට ග්‍රීසිය, රෝමය ආදී රටවලින් වෙළඳ දූත පිරිස්‌ මෙරට පැමිණි බවටත් මෙරටින් එම රටවලට රාජතාන්ත්‍රික පිරිස්‌ ගිය බවටත් ඓතිහාසික සාක්‌ෂි ඇත. මෙනිසා රටවල් අතර ඇතිවන හුවමාරුව ද බහු සංස්‌කෘතික සමාජ ඇතිවීමට බලපායි. විශේෂයෙන් රටවල් ඉතා ආසන්නව පවතින විට මෙම හුවමාරු සංස්‌කෘතික අංග මුල් බැසගැනීමෙන් එවැනි සමාජ ගොඩනැගේ. උදාහරණ ලෙස පර්සියාව (නූතන ඉරානය) වැනි රටවල සංස්‌කෘතීන් ඉන්දියාව දක්‌වාම ව්‍යාප්ත වී ඔවුන්ගේ කලාවන් සියල්ල උතුරු ඉන්දියාව පුරා පැතිරී ඇත. මෙනිසා වෙළඳාම වැනි වානිජමය පරමාර්ථ මුල්කරගෙන පැමිණියෙන් කල්ගතවන විට ඔවුන්ගේ සංස්‌කෘතීන් ද නොදැනුවත්වම එම රටවල් කරා පැමිණීම නොවැලැක්‌විය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017