ශ්‍රී ලංකාවේ බලය බෙදාහැරීමේ සහ විමධ්‍යගත කිරීමේ ඉතිහාසය
 

ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීමේ ඉතිහාසය ක්‍රි.පූ. යුගය දක්‌වා ඈතට දිවයයි. ඝහා වංශයේ දැක්‌වෙන තොරතුරු අනුව පණ්‌ඩුකාභය රජතුමා අනුරාධපුර නගරය කොටස්‌ කිහිපයකට බෙදා ඒ ඒ ප්‍රදේශවල එක්‌ එක්‌ ජනකොටස්‌ පදිංචි කළ බව දැන්වෙන අතර නගර පාලනය සඳහා නගර ගුත්තික තනතුරක්‌ පවා ඇතිකළ බව සඳහන් වේ. එනිසා පාලනය විමධ්‍යගත කළ බවට සාක්‌ෂි එම යුගයෙන් අපට හමුවෙයි.


ඓතිහාසික සාධක අනුව ශ්‍රී ලාංකීය පාලන ඉතිහාසයේ කුඩාම ඒකකය ගම විය. ගමික, ගාමිණි, පරුමක යන නම්වලින් ගම් ප්‍රධානියා හදුන්වා තිබුණි. ගමෙහි කටයුතු එකලස්‌ කිරීම, රාජ්‍යයට බදු එකතු කර දීම, සුළු වැරදිකරුවන්ට දඬුවම් දීම ගමට අයත් වැවෙහි වාරිජලය පාලනය කිරීම හා නඩත්තු ආදී කටයුතු ගාමිණී අතින් සිදුවිය. මෙය එක්‌ අතකට රජය වෙනුවෙන් පාලනය විමධ්‍යගත කිරීමක්‌ ලෙස හැඳින්විය හැකිය. කුඩාම ඒකක ලෙස පැවති ගම්වල කටයුතු ගාමිණීවරු අතරින් එකලස්‌ වූ අතර පසුකාලීන ඓතිහාසික සාධක අනුව මාපා, ඈපා සහ යුවරාජ යන තනතුර ඔස්‌සේ රාජ්‍යයෙහි කටයුතු සහ බලතල විකේන්ද්‍රණය වී තිබුණි. මේ නිසා ස්‌වප්‍රජා පාලනය අප රටට ඇත.. අතීතයේ පටන් හුරු පුරුදු සංකල්පයක්‌ විය.


පොළොන්නරු යුගය වන විට සිංහල සහ ද්‍රවිඩ පිරිස්‌ සාමූහිකව සිය කටයුතු ගෙනගිය අතර ද්‍රවිඩයන්ගේ කටයුතු සොයා බැලීම පිණිස "දමිළ අධිකාරි" නම් තනතුරක්‌ ද ඇතිකර තිබූ බව මහාවංශයේ දැක්‌වෙයි. මෙනිසා බලය බෙදාහැරීමේ සංකල්පය එදා පටන් මෙරට ක්‍රියාත්මක වූ ක්‍රමයක්‌ බව පෙනේ.


අනුරාධපුර, පොළොන්නරු ආදී ජලාශ්‍රිත ශිෂ්ටාචාර අවධියේ පවා ලංකාව විවිධ කොටස්‌වලට බෙදී පැවතුනි. රුහුණු, මායා, පිහිටි වශයෙන් රාජ්‍යය බෙදී පැවතුන අවස්‌ථාව ද බලවත් රජවරුන් මෙම රාජ්‍යයන් එක්‌සත් කළ අවස්‌ථාවන් හිදී පවා මෙම ප්‍රදේශ පාලනය සඳහා යුව රජවරුන් එක්‌කළ අවස්‌ථා ද ඉතිහාසයේ දැක්‌වෙයි. වන්නි ප්‍රදේශ නමින් ස්‌වතන්ත්‍ර පාලනයක්‌ ගෙනගිය 'වන්නියාර්වරුන්' ගැන ද සඳහන් වේ. මෙනිසා ශ්‍රී ලංකාව තුල බලය විමධ්‍යගත වී තිබීම මෙන්ම බලය ඒකරාශී වීම ප්‍රධාන රාජ්‍යය යටතේ ද පැවතිනි. මෙසේ පැවති පරිපාලනමය රටාවන් නිසා ප්‍රාදේශීය ස්‌වයංපෝෂිත ආර්ථික රටාවක්‌ ඇති වී තිබුණි. අතීත රජ දරුවන්ගේ කාලවලදී මෙන්ම වැඩවසම් පාලන ක්‍රමයක්‌ තිබූ කාලයේ පවා එක්‌තරා ප්‍රජාතන්ත්‍රවාදී අන්දමකට බලය බෙදාහරින ලද පෙඩරල් පාලන ක්‍රමයක්‌ මෙරට පැවතිණි. උදාහරණයක්‌ ලෙස වැඩවසම් පාලන ක්‍රමයට අනුව දිසාවේ, මුදලි මුහන්දිරම්, වෙල් විදානේවරු ආදී ලෙස තම බල ප්‍රදේශවල ඉටුකළ යුතු කාර්යන් බදු එකතු කිරීම, සංවර්ධන කටයුතු මෙහෙයවීම ආදී ලෙස බලය විමධ්‍යගත කොට ඒ ඒ නිලධාරින් යටතට පත්කොට තිබූ අයුරු පෙනේ. මෙසේ ගම් සභාවේ සිට කෝරළ දිසාවේ දක්‌වා බලය විමධ්‍යගත කොට තිබූ පාලනක්‍රමය බ්‍රිතාන්‍යයන්ට ලංකාව යටත් වීමත් සමඟ වෙනත් ස්‌වරූපයක්‌ ගත්තේය. ඔවුන්ගේ අදහස වූයේ එංගලන්තයේ ක්‍රියාත්මක වූ ක්‍රමයේ පාලන අධිකාරින් මෙරට ස්‌ථාපනය කිරීමයි. එනිසා ඔවුන්ට ගම්සභා පාලනක්‍රමය නොවැදගත් දෙයක්‌ විය. එහෙත් ග්‍රාම පාලනයක්‌ යටතේ ස්‌වපාලන බලතල භුක්‌ති විදි ශ්‍රී ලාංකික ජනතාවට බ්‍රිතාන්‍යයන් හදුන්වාදීමට උත්සාහ කළ සංකේන්ද්‍රගත පාලනය නුපුරුදු දෙයක්‌ විය. බටහිර අධිරාජ්‍යවාදීන් මෙරට ආක්‍රමණය කිරීමෙන් පසුව ඔවුන් අනුගමනය කිරීමට උත්සාහ දැරුවේ මධ්‍යගත පාලනයක්‌ මෙරට ඇතිකිරීමයි. එම පාලන ක්‍රමය යටතේ එංගලන්තයේ රජු ගේ මෙරට නියෝජිතයා වු ආණ්‌ඩුකාරවරයා තුලින් බලය ඒකරාශී කොට පාලනය කිරීමට උත්සාහ දැරූහ. රාජ්‍ය නිලධාරීන්ගේ මාර්ගයෙන් මධ්‍යගත පාලනය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන ලදී.


මෙනිසා 1818 සහ 1848 යන යුගවලදී සිංහලයන් බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව නැඟී සිටියහ. මෙනිසා 1856 දී නැවත ගම් සභා පාලන ක්‍රමය ප්‍රතිෂ්ඨාපනය කිරීමට ඉංග්‍රීසිහු උත්සාහ දැරූහ. එහි ප්‍රතිඵලයක්‌ ලෙස 1871 දී නැවත ගම් සභා පිහිටුවීය. ඉන්පසුව ක්‍රමයෙන් කුඩා නගරවල සුළු නගර සභා ද පිහිටුවනු ලැබීය. 1947 නව ආණ්‌ඩුක්‍රම ප්‍රතිසංස්‌කරණය හෙවත් සොල්බරි ප්‍රතිසංස්‌කරණ යටතේ පළාත් පාලනය සඳහා අමාත්‍යාංශයක්‌ ද පිහිටුවනු ලැබීය. මේ යටතේ,


1. ගම්සභා
2. සුළු නගර සභා
3. නගර සභා
4. මහ නගර සභා


ආදී ලෙස ලංකාවේ පළාත් පාලන ආයතන ඇතිකොට බලය විමධ්‍යගත කරන ලදී. ගම්සභා වලට සභිකයන් තේරීමේදී අදාළ ගම් සභා ප්‍රදේශයේ ඡන්ද දායකයන්ගේ ඡන්දයෙන් පක්‌ෂ ක්‍රමය අනුව තේරී පත්වූහ. එනිසා ගම්සභාපති ප්‍රමුඛ, සභිකයන් තම පාලන ප්‍රදේශයේ අවශ්‍යතා සොයාබලා කටයුතු කිරීමට උනන්දු වූහ. සුළු නගර සහ සිට මහනගර සභා දක්‌වා වූ පාලනය ද එවැනි ඡන්ද ක්‍රමයක්‌ යටතේ පත්වූවන්ගෙන් සැදුම්ලත් විය. මෙම පාලනය යටතේ මධ්‍යම ආණ්‌ඩුවේ බලය විකේන්ද්‍රණය වූවා පමණක්‌ නොව ප්‍රාදේශීය වශයෙන් ද ක්‍රමවත් පාලන සංවිධානයක්‌ ස්‌ථාපිත විය.


1980 දී ගම්සභා අහෝසි කොට 1981 දී ප්‍රාදේශීය බලමණ්‌ඩල සහ ග්‍රාමෝදය මණ්‌ඩල පිහිටුවන ලදී. මේවා මහජන නියෝජිතයන්ගෙන් තොර ස්‌වේච්ඡා මණ්‌ඩලවල සභාපතිවරුන්ගෙන් යුක්‌ත වූ නිසා අසාර්ථක විය.


1978 වර්ෂයේ දී ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ඇතිකරන ලද 13 වන සංශෝධනය මගින් බලය විමධ්‍යගත කිරීම පදනම් කොට පළාත් සභා පාලන ක්‍රමය ඇතිකරන ලදී. මෙම පළාත්සභා ක්‍රමය ක්‍රියාත්මක වූයේ 1987 පාර්ලිමේන්තුව සම්මත කළ පනතක්‌ මගිනි. ඒ අනුව පළාත් සභා අටකට බෙදා ඒවාට හිමි බලතල වෙන්කර දෙන ලදී. මෙය ඉන්දු-ලංකා ගිවිසුම යටතේ වර්ග ඛෙදවාදයට පිළියමක්‌ ලෙස ඉදිරිපත් කෙරුණි. බස්‌නාහිර, වයඹ, දකුණ, උතුරුමැද, ඌව, සබරගමුව, මධ්‍යම සහ උතුරු නැගෙනහිර යනුවෙන් පළාත් 8ක්‌ පිහිටුවීමට කටයුතු යොදන ලදී.


පළාත් සභාවේ සංයුතිය


1.  ආණ්‌ඩුකාරවරයා
2.  මහ ඇමතිවරයා
3.  අමාත්‍ය මණ්‌ඩලය
4.  පළාත් සභා මන්ත්‍රීවරු
5.  සභාපතිවරයා
6.  ලේකම්වරයා


පළාත් සභාවක ආණ්‌ඩුකාරවරයා ජනාධිපතිවරයා විසින් පත්කෙරේ. ඉතිරි අය පළාත් සභා ඡන්දයකදී මහජන ඡන්දයෙන් පක්‌ෂක්‍රමය අනුව තෝරාපත් කර ගැනේ. මෙසේ රජයේ කටයුතු පහසුකරලීම සඳහා පාර්ලිමේන්තු පනතක්‌ ඇසුරෙන් සම්මත කර පිහිට වූ පළාත් සභා ක්‍රමය අද ලංකාවේ බලය විමධ්‍යගත කිරීමේ දී විශාල කාර්යභාරයක්‌ ඉටුකරන ආයතන බවට පත්ව තිබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017