නූතන රාජ්‍යවල බලය බෙදාහැරීම
 

නූතන රාජ්‍යවල බලය බෙදාහැරීමේ ඒකක සහ ව්‍යුහයන්


නූතන රාජ්‍යයන්හි බලය බෙදා හැරීම පිළිබඳ හොඳම උදාහරණ ලෙස බ්‍රිතාන්‍යය දැක්‌විය හැකිය. ව්‍යවස්‌ථාදායක කටයුතු පාර්ලිමේන්තුව විසින් ද, විධායක කටයුතු අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්‌ඩලය විසින් ද, අධිකරණ කටයුතු ප්‍රිවිකවුන්සලය ඇතුළු අධිකරණ පද්ධතිය මඟින් ද කරනු ලැබේ. එහෙත් මෙම සියලු ආයතනවල කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටී.


ඇමෙරිකාවද මොන්ටෙස්‌ක්‍යගේ බලතල බෙදීමේ න්‍යාය මත පිහිටා බලය බෙදාහැර ඇති රාජ්‍යයකි. ඇමෙරිකානු ව්‍යවස්‌ථාදායක බලය කොංග්‍රස්‌ මණ්‌ඩලයට හිමිවේ. විධායක බලය ජනාධිපතිවරයාට හිමිවන අතර අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයටද පවරා ඇත. නමුත් කොංග්‍රස්‌ ව්‍යවස්‌ථාදායක කටයුතු සහ ජනාධිපතිවරයාගේ විධායක කටයුතු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සමඟ නොගැලපෙන විට ඒවා අවලංගු කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතුවේ.


ඉන්දියාව ද බලය බෙදා හැරීම පිළිබඳව සුවිශේෂි නිදසුනකි. මෙහි පළමු කොට බලය බෙදීම දැක්‌වෙන්නේ මධ්‍යම ආණ්‌ඩුව සහ ප්‍රාන්ත ආණ්‌ඩු වශයෙනි. මෙහි ප්‍රාන්ත රාජ්‍යයවලට සුවිශේෂි බලතල හිමි නොවේ. රජය විසින් දක්‌වා ඇති අවස්‌ථා ගණනාවක දී ප්‍රාන්ත රාජ්‍යවල බලය අවශ්‍ය විටෙක මධ්‍යම ආණ්‌ඩුවට පවරාගත හැකිය. මේ නිසා අර්ධ සන්ධීය ආණ්‌ඩුක්‍රමයක ලක්‌ෂණ ඉන්දියාවේ ඇති බව පෙනේ.






පින්තුරය


ඉන්දියානු ආණ්‌ඩුක්‍රමය තුළ ව්‍යවස්‌ථාවට අනුකුල නීති පැනවීමේ බලය පාර්ලිමේන්තුව සතුවේ. ඉන්දීය පාර්ලිමේන්තුව ලෝක්‌ සභාව සහ උත්තර මන්ත්‍රීමණ්‌ඩලය යනුවෙන් කොටස්‌ දෙකකින් යුක්‌තවේ. විධායක බලය අගමැති ප්‍රමුඛ කැබිනට්‌ මණ්‌ඩලයට හිමිවේ. ඉන්දියානු ජනාධිපතිවරයා නාමමාත්‍රික විධායක තත්වයක්‌ දරයි. නමුත් ජනාධිපතිවරයාට පවරා ඇති බලතල අනුවාද ප්‍රාන්ත රාජ්‍යවල බලය මධ්‍යම ආණ්‌ඩුව වෙත පවරාගත හැකිය. අධිකරණ බලය සූප්‍රීම් උසාවියට හිමිවන අතර ප්‍රාන්ත රාජ්‍යය සහ මධ්‍ය ආණ්‌ඩුව අතර ඇතිවන නීතිමය තත්වයන් විවරණය කිරීමේ බලය ඉන්දීය සූප්‍රීම් උසාවිය සතුවෙයි.


ඉන්දීය ප්‍රාන්ත ආණ්‌ඩුවලට ද ස්‌වයංපාලනයක්‌ නොවන ව්‍යවස්‌ථාදායක, විධායක සහ අධිකරණ බලයක්‌ ක්‍රියාත්මක වේ. මේ අනුව මධ්‍යම ආණ්‌ඩුවේ සහ ප්‍රාන්ත ආණ්‌ඩු සතු බලතල සහ කාර්යයන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන්ම වෙන්කර ඇත. ඉන්දියාවේ අධිකරණ පද්ධතිය සමස්‌ත ඉන්දියාවටම පොදුය. මෙසේ ඉන්දියානු බලතල බෙදීමේ න්‍යාය බ්‍රිතාන්‍ය ක්‍රමයේ මෙන්ම ඇමෙරිකානු ක්‍රමයේද සංකලනයක්‌ ලෙස පෙනේ. ඉන්දියාව පුරා ප්‍රාන්ත රාජ්‍යයවල බලතල බෙදාහැර පාලනය කරන නමුත් මධ්‍යම ආණ්‌ඩුවෙන් බලය එක්‌රැස්‌ කර ඇති ඒකීය ආණ්‌ඩු ස්‌වභාවයක්‌ ද ඉන්දියානු ආණ්‌ඩුක්‍රමය තුළ දක්‌නට ලැබෙයි. ඉන්දියාවේ මධ්‍ය ආණ්‌ඩුව සහ ප්‍රාන්ත ආණ්‌ඩු අතර බලතල සම්බන්ධයෙන් යම් ගැටුමක්‌ ඇතිවුවහොත් මධ්‍යම ආණ්‌ඩුවේ නීතිය වඩාත් බලාත්මකවේ.


ස්‌වීට්‌සර්ලන්තය ද බලය බෙදාහෑරීම පිළිබඳව තවත් උදාහරණයකි. ස්‌විට්‌සර්ලන්තයේ 'කැන්ටන්' නමින් හැඳින්වෙන කුඩා භුගෝලීය ප්‍රදේශවල බලය බෙදාහැර ඇත. එවැනි කැන්ටන් 26කින් ස්‌විට්‌සර්ලන්තය සන්ධීය පාලන ක්‍රමය බිහිවී තිබේ. මෙම ප්‍රාන්ත රාජ්‍යවල බලය ඒකරාශී කරනුයේ ස්‌විට්‌සර්ලන්ත මධ්‍ය ආණ්‌ඩුව විසිනි. ස්‌විට්‌සර්ලන්තය කදුකර රටක්‌ නිසා සෑම ප්‍රදේශයක්‌ම එක එල්ලේ පාලනය කිරීම අපහසුය. මෙනිසා කැන්ටන් නමින් ප්‍රාදේශීය පාලන ඒකක සකස්‌කර ඒවාට බලය බෙදාහැර ඇත. ඒ ඒ ප්‍රදේශවල කැන්ටන් වලට අවශ්‍ය තීරණ ගැනීමේ බලය පවරා දී ඇති අතර මේ සියලු බලතක ඒකරාශී කරනුයේ මධ්‍ය ආණ්‌ඩුව මගිනි. මෙය සන්ධීය (federal)  ක්‍රමය ලෙස ද හැඳින්වේ. මෙම ආණ්‌ඩුක්‍රමය තුළ නීතියක්‌ සම්මත කර ගැනීමට (ප්‍රාන්ත සභා) කැන්ටන්වල බහුතරයකගේ කැමැත්ත ද අවශ්‍ය වේ. එනිසා ස්‌විට්‌සර්ලන්ත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පහසුවෙන් වෙනස්‌ කළ නොහැකි අනම්‍ය ව්‍යවස්‌ථාවකි. බොහෝවිට මධ්‍යම රජයේ සුපරික්‌ෂාකාරිත්වය යටතේ කැන්ටන් වලට අවශ්‍ය නීති ක්‍රියාත්මක කිරීමට අවස්‌ථාව සැලසේ. මෙම කැන්ටනය තුළ ප්‍රාදේශික සභා හෙවත් කොමියුන් නම් තවත් කුඩා ප්‍රාදේශීය පාලන ඒකකද පවතී.

(c) Shilpa Sayura Foundation 2006-2017