බලය විමධ්‍යගත කිරීම හා බලය බෙදා හැරීම
 

බලය විමධ්‍යගතකරණය හා බලය බෙදාහැරීමේ සංකල්ප


බලය බෙදාහැරීම :


බලය බෙදීම පිළිබඳ අදහස ග්‍රීක යුගය තරම් ඈතට දිවයන සංකල්පයකි. මේ පිළිබඳව මුල් වරට අදහස්‌ දක්‌වා ඇත්තේ ග්‍රීක ජතික ඇරිස්‌ටෝටල් විසිනි. ග්‍රීක පෞර රාජ්‍යතුළ පාලනය කිරීමේ දී දේශපාලනමය වශයෙන් ආණ්‌ඩුවේ කටයුතු ප්‍රධාන කොටස්‌ තුනකට බෙදිය යුතු බැව් ඇරිස්‌ටෝටල්ගේ අදහස්‌ විය. මෙම රාජ්‍යයවල ක්‍රියාත්මක වූ සෘජු ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමතුළ මෙය සාර්ථකව ක්‍රියාත්මක නොවූ අතර ක්‍රමයෙන් මෙම ග්‍රීක පෞර රාජ්‍යය ක්‍රමය බිඳ වැටුණි. ඉන්පසු යුරෝපයේ ජාතික රාජ්‍ය සංකල්පය බිහිවීමත් සමඟ බිහිවන්නේ රාජාණ්‌ඩුක්‍රමයකි. මෙකල රජුවටා සියලු බලතල සංකේන්ද්‍රණය වීමක්‌ දක්‌නට ලැබේ. මෙම පාලන ක්‍රම යටතේ මහජන නිදහස සහ අයිතිවාසිකම් පිළිබඳ අඩු සැලකිල්ලක්‌ දැක්‌වූ අතර බලතල රජුවටා ඒකරාශි වීමෙන් පාලනය තරමක්‌ දුරට ඒකාධිපති ස්‌වරූපයක්‌ ගෙන තිබුණි. විශේෂයෙන්ම වැඩවසම් යුගයේ රජවරු බලය එසේ ක්‍රියාත්මක කළෝය. රුසියාවේ සාර් රජතුමා, ප්‍රංශයේ දාහතරවන ලුවී රජතුමා, මෙසේ ඒකාධිපති ලෙස බලය හැසිර වූ රජවරු වූහ.


1576 ජින් බොඩෑන් රචනා කරන ලද Republic නම් ග්‍රන්ථයේ බලතල වෙන්කර තැබීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. ව්‍යවස්‌ථාදායක බලතලත් යුක්‌තිය ඉටුකිරීමේ කාර්යයත් එක්‌ පුද්ගයයෙකු වටා එක්‌රැස්‌වීමෙන් සාධාරණ විනිශ්චයක්‌ නොලැබෙන බව ඔහුගේ තර්කය විය. දහසයවන සියවසෙන් පසුව එංගලන්තයේ රජු අතරත් පාර්ලිමේන්තුව අතරත් නිතර ගැටුම් ඇතිවිය. මෙම ගැටුම් නිසා ව්‍යවස්‌ථාදායකය, විධායකය සහ අධිකරණය වශයෙන් බලය බෙදා ක්‍රියාත්මක කළ යුතු බවට මතයක්‌ ඇතිවිය. මේ අනුව එංගලන්ත ජාතික "හැරින්ග්ටන්" නම් දේශපාලඥයා විසින් ප්‍රථම වරට බලතල බෙදා හැරීමේ අවශ්‍යතාව පිළිබඳව අදහස්‌ ප්‍රබල ලෙස ඉදිරිපත් කරන ලදී. ඊන්පසුව 1689 දී ජෝන් ලොක්‌ විසින් රචනා කරන ලද "සිවිල් ආණ්‌ඩුව පිළිබඳ සම්මුතීන් දෙකක්‌" යන කෘතිය තුලින් බලය බෙදාහැරීමේ පිළිවෙත පැහැදිළි කලේය. ඔහු මෙම කෘතිය තුලින් ව්‍යවස්‌ථාදායක බලතල මහජන නියෝජිතයන්ගෙන් යුත් පාර්ලිමේන්තුව වෙත ද, විධායක බලතල රජුටත් හිමි විය යුතු බව සඳහන් කළේය.

බලතල බෙදීමේ න්‍යාය ස්‌ථාවර පදනමක්‌ සහිතව ඉදිරිපත් කළේ 1748 ප්‍රංශ ජාතික චාල්ස්‌ මොන්ටෙස්‌ක්‍ය විසිනි. මෙකල ප්‍රංශයේ පාලකයාව සිටියේ 14 වැනි ලුවී රජුය. ප්‍රංශ රජයේ බලතල සියල්ල රජුවෙත ඒකරාශීවී පැවතිණි. "රාජ්‍යය නම් මමයි. ඝම නම් රාජ්‍යයයි." යනුවෙන් පවසමින් රජතුමා රජය සතු සියළු බලතල තමන් වෙත පවරාගෙන තිබුණි. මෙම තත්වය තේරුම් ගත් මොන්ටෙස්‌ක්‍ය අත්තනෝමතික පාලනයක්‌ ඇති වීම වැළැක්‌වීමට නම් ආණ්‌ඩුවේ කාර්යයන් ව්‍යවස්‌ථාදායක විධායක සහ අධිකරණ යන කොටස්‌ තුනට බෙදා වෙන්කළ යුතු බව පැහැදිලි කළේය.


එමෙන්ම එම ආයතන තමන්ට අයත් ක්‌ෂේත්‍රයන් තුළ අනෙක්‌ ආයතනවල බලපෑමෙන් තොරව ස්‌වාධීනව කටයුතු කළයුතු බවත් සඳහන් කළේය. අත්තනෝමතික පාලනයක්‌ ඇතිවීම වැලැක්‌වීමට මෙම ආයතන එකිනෙකින් වෙන්කළ යුතු බව මොන්ටෙස්‌ක්‍ය පැවසුවද නූතන රාජ්‍යය දෙස බලන කල ව්‍යවස්‌ථාදායක විධායක සහ අධිකරණ යන ආයතන ශුද්ධ වශයෙන් එකිනෙක වෙන්කළ නොහැකි ආයතන තුනකි. නූතන රාජ්‍යයන්හි ප්‍රජාතන්ත්‍රවාදී පාලන කටයුතු දෙස බලන කල පෙනීයන කරුණක්‌ වන්නේ ව්‍යවස්‌ථාදායක සහ විධායක බලතල එකිනෙක මත රැඳී පවතින බවයි.

බලය විමධ්‍යගත කිරීම

බලය විමධ්‍යගත කිරීම යනුවෙන් හදුන්වන්නේ මධ්‍යම රජය වටා ඒකරාශීවී තිබෙන බලතල විකේන්ද්‍රණය කරමින් පළාත්පාලන ආයතන හෝ ප්‍රාන්ත රාජ්‍යවලට ප්‍රාදේශීය මණ්‌ඩල හෝ සභාවලට බෙදා හැරීමයි. පරිපාලනමය කටයුතු සම්බන්ධයෙන් ඒකරාශි කිරීමේ බලය මධ්‍යම ආණ්‌ඩුව වෙත තබාගනිමින් සෙසු බලතල ප්‍රාදේශීය වශයෙන් බෙදාහැරීම මෙහි මූලික සිද්ධාන්තයයි.


බලය විමධ්‍යගත කිරීමට බලපාන සාධක

1.  රාජ්‍යයන් භුමි ප්‍රදේශය අතින් විශාල වීම.
2.  රාජ්‍යයය ජන කොටස්‌ කිහිපයකින් සැදුම්ලත් විට, ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකීමට
3.  සංවර්ධන කාර්යයන් කාර්යක්‌ෂමව ඉටුකරවා ගැනීමට.
4.  ඵලදායිතාවයකින් යුත් දේශපාලන කටයුතු කෙරෙහි ජනතා සහභාගීත්වය වැඩිකරවා ගැනීමට.
5.  මධ්‍යම ආණ්‌ඩුවට පැවරී ඇති අධික කාර්ය භාරය ලිහිල් කරවා ගැනීමට.
6.  පරිපාලනමය කාර්යක්‌ෂමතාව රැක ගැනීමට
7.  විවිධත්වය තුළින් ඒකීයත්වය ඇතිකර ගනිමින් ජනතාවගේ අයිතිවාසිකම් සුරුකීම.
8.  මධ්‍යම ආණ්‌ඩුව හිතුවක්‌කාරී පාලනයකට යෑම වැලැක්‌වීමට.
9.  පොදු කටයුතු සම්බන්ධව මධ්‍යම රජය උනන්දුවීමෙන් ප්‍රාදේශීය කටයුතු ප්‍රාදේශීය ආණ්‌ඩුවලට පවරා දීමට හැකිවීමෙන් වඩා ප්‍රජාතන්ත්‍රීය ලක්‌ෂණ ඉස්‌මතු විය.

(c) Shilpa Sayura Foundation 2006-2017