10. මාධ්‍ය නිදහස සහ තොරතුරු ලබාගැනීමේ අයිතිය
 

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‌ෂා කිරීමට නම් නිදහස්‌ මහජන මතය ගොඩනැගීම අවශ්‍යයෙන්ම කළ යුත්තකි. මෙම මහජන මතය ගොඩනැංවීම කෙරෙහි ජනසන්නිවේදන මාධ්‍යවල කාර්ය භාරය ඉමහත්ය. පුවත්පත්, සඟරා, පත්‍රිකා කියැවීම, ගුවන්විදුලියට සවන් දීම, මෙන්ම රූපවාහිනී, චිත්‍රපට ආදී දෘශ්‍යමාධ්‍ය මඟින් ද මිනිස්‌සු දේශපාලනය උගනිති. මෙම සෑම මාධ්‍යයක්‌ තුළින්ම දේශපාලන දැනුම මෙන්ම පවතින රජයේ ප්‍රවනතා මෙන්ම ඌනතා පිළිබඳ වැටහීමක්‌ ලබාගැනීමට ජනතාවට හැකිය. මෙනිසා පුවත්පත්, ගුවන්විදුලිය, රූපවාහිනය යන ප්‍රබල ජනමාධ්‍යයන්හි නිදහස ඉතා වැදගත් සාධකයක්‌ වේ.


මාධ්‍ය නිදහස සහ තොරතුරු ලබාගැනීම තුළින් ලබාගත හැකි ප්‍රතිඵල


*  රජයේ තොරතුරු ජනතාවට සැපයීම
*  ජනතාවගේ අදහස්‌ පවතින රජයේ අවධානයට යොමු කිරීම


මේ සියලු කටයුතු ඉටු කිරීමට නම් මාධ්‍ය නිදහස අනිවාර්යයෙන්ම තිබිය යුතුය. මහජන මතය ගොඩනැංවීමෙහි ලා ඉතා ලාබදායි සන්නිවේදන මාධ්‍යයක්‌ වන පුවත්පතට විශාල කාර්යභාරයක්‌ ඉටුකළ හැකිය. යම් හෙයකින් මෙම පුවත්පත් රජයේ පාලනය යටතේ පැවතුන හොත් සත්‍ය තොරතුරු ජනතාවට නොලැබේ. එබැවින් සාර්ථක ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍ය{හයක්‌ ඇතිවීම මාධ්‍ය නිදහසට අත්‍යවශ්‍ය සාධකයකි. එසේම පවතින රජයේ ක්‍රියා පටිපාටිය පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ අයිතිය ජනතාව සතුය. ජනතාව විසින් ජනතාව සඳහා ජනතාවම පත්කරගන්නා ලද ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය සාර්ථක වීමට නම් තම රජය පිළිබඳ තොරතුරු ලබාගැනීමේ අයිතිය ඔවුන්ට ඇත. එම අයිතිය සුරක්‌ෂිත වීමට නම් ජනමාධ්‍ය නිදහස ආරක්‌ෂා විය යුතුය. නැතහොත් සත්‍ය තොරතුරු ජනතාවට නොලැබී යා හැකිය.


ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක මට්‌ටම පෙන්වන කැඩපතක්‌ සේ සැලකිය හැක්‌කේ ජනමාධ්‍ය නිදහසයි. ප්‍රජාතන්ත්‍රවාදය කෙතරම් දුරට ගරුකරන්නේ ද යන්න ජනමාධ්‍ය නිදහස හරහා පෙන්නුම් කරයි. ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදී සමාජ මට්‌ටම මත ජනමාධ්‍ය නිදහස සුරැකේ. නිදසුනක්‌ ලෙස බටහිර රටවල ජනමාධ්‍ය නිදහස ගරුකරන පිළිවෙතක්‌ අනුගමනය කරයි. බ්‍රිතාන්‍යයේ ජනමාධ්‍ය නිදහස නීතිගත කොට ඇති අතර ජනමාධ්‍යකරුවෙකුට අවශ්‍ය තොරතුරු සැපයීමට එරට රාජ්‍ය ආයතන බැඳී සිටී. තුන්වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල තවමත් ජනමාධ්‍ය නිදහස කෙරෙහි එතරම් අවධානයක්‌ යොමු කර නැත. යඑට හේතුව ආණ්‌ඩුව පිහිටුවා ගත්තත් එහි ස්‌ථීරභාවය රැකගැනීමට ඔවුන්ට ඇති අභියෝගයයි. මෙනිසා සෑම අවස්‌ථාවකම ජනමාධ්‍යකරුවන්ට තහංචි දමා රාජ්‍ය රහස්‌ රැකගැනීමේ උත්සාහයක නිරතවනු දැකිය හැකිය.


තුන්වන ලෝකයේ රටවල පවතින දේශපාලන අස්‌ථිරතාවයමත ඇති වී ඇති භීෂණකාරී වාතාවරණය තුළ ජනමාධ්‍යය ද මර්දනය කිරීමේ අවස්‌ථාවන්ද උදාවෙයි.


විශේෂයෙන්ම යුදමය අවස්‌ථාවන්හිදී පුවත් වාරණයට ලක්‌වෙයි. මෙහිදී ජනමාධ්‍යද එයට සමගාමීව නිරායාශයෙන් වාරණයට ලක්‌වෙයි. එවැනි අවස්‌ථාවන්හීදී ජනමාධ්‍යවේදීන්ද ස්‌වයං වාරණයක්‌ යටතේ ක්‍රියාකරයි. යඑට හේතුව ජීවිත තර්ජන, රාජ්‍ය බලපෑම් ආදී තමන්ට පාලනය කළ නොහැකි බාහිර සාධක රැසක්‌ පවතින නිසා සත්‍යය ප්‍රකාශ කිරීමට මැලි වීමයි.


ජනමාධ්‍යය මූලික සිද්ධාන්ත කිහිපයක්‌ යටතේ ක්‍රියාත්මක වේ


1.  ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකදී පාලකයන් පත්කරන්නේ ජනතාවයි. එනිසා පාලකයන් කියනු ලබන කරනු ලබන දේ දැනගැනීමේ අයිතිය ජනතාව සතුවේ.
2.  ආණ්‌ඩුව සිය යහපාලනය සඳහා නිලධාරින් පත්කොට ඇත. ඔවුන්ගේ වැටුප් ආදිය ගෙවනු ලබන්නේ මහජන මුදලිනි. එනිසා මහජනතාවට ඔවුන්ගේ කටයුතුවල ප්‍රගතිය මෙන්ම අඩුලුහුඩුකම් ද විවේචනය කිරීමේ අයිතිය ඇත.
3. ජනතාව විසින් පත් කරනු ලැබූ ආණ්‌ඩුවක ජනතාව සහ පාලක පන්ත්ය එකිනෙක ළංකරවනු ලබන පාලම වන්නේ ජනමාධ්‍යයයි. රජයේ හඬ ජනතාව වෙතට ගෙනයාමත් ජනතාවගේ හඬ රජය වෙතට ගෙනයාමත් කරනුයේ ජනමාධ්‍යයයි.
4.  මහජනතාව ස්‌වකීය ඡන්දයෙන් පාලකයන් පත්කල පසු බොහෝ විට නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කරයි. මෙම නිහඬ ජනතාවගේ සැබෑ හඬ ජනමාධ්‍යවේදියා තුලින් එලිදැක්‌වෙයි. ජනමාධ්‍යවේදියා මෙම තොරතුරු හෙළි නොකරයි නම් රජයට අත්තනෝමතික ලෙස තම කටයුතු කරගෙන යා හැකිය.
5.  පොදු ජනතාවගේ බදු මුදලින් යැපෙන ආණ්‌ඩුවේ හුදු මහත් සියලු කටයුතු පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමේ පරම අයිතිය ජනතාව සතුය. මෙම අයිතිය සුරැකීමට නම් මෙම ආයතන දෙකෙහි පාලම ලෙස ක්‍රියා කරන ජනමාධ්‍ය අයිතිය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‌ෂා කිරීමෙහි ලා ඉතා වැදගත් වේ.
6. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක ව්‍යවස්‌ථාදායකය, විධායකය සහ අධිකරණය යන අංග තුන ඇතුලත්විය යුතු අතර සිව්වැනි ස්‌ථානය ලැබෙන්නේ ජනමාධ්‍ය නිදහසටය.

(c) Shilpa Sayura Foundation 2006-2017