9. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා වර්ග
 

1.  ලිඛිත –- අලිඛිත
2.  නම්‍ය - අනම්‍ය
3.  ඒකීය –- සංධීය


ලිඛිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා :


රටක පාලනය හා සම්බන්ධ නීතිරීති අඩංගු ලේඛනය ලියා තබා ඇතිවිට එය ලිඛිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ලෙස හැඳින්වේ. ඇමෙරිකා, ප්‍රංශ, ශ්‍රී ලංකා, ඉන්දියා, රුසියන් වැනි රටවල ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ලිඛිත ව්‍යවස්‌ථා ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාවේ ඇත්තේ ලිඛිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවකි. 1948 දී ලියැවුණු මෙය 1972 දී සහ 1978 දී සංශෝධනයට ලක්‌ වී නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ලෙස භාවිතයේ පවතී.


ලිඛිත ආණ්‌ඩුක්‍රම වෘවස්‌ථාවක්‌ පවතින විට පාලකයන්ට අත්තනෝමතික ලෙස පාලන කටයුතු කළ නොහැකිය. පාලන කටයුතු සැලසුම් සහගතව කරගෙන යාමට ලිඛිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ඇතිවිට පහසුය. රාජ්‍ය පාලනය පිළිබඳව ජනතාවට විචාරශීලිව කටයුතු කිරීමට හැකිය. ජනතාවගේ මූලික අයිතිවාසිකම් ගැන සඳහන් වන නිසා ඒවා ආරක්‌ෂා කිරීමට පියවර ගැනීමට හැකියාව ඇත. ලිඛිත ව්‍යවස්‌ථාවන් වෙනස්‌ කිරීමට විශේෂ පියවර ගත යුතු නිසා එහි ස්‌ථිර ස්‌වභාවයක්‌ දක්‌නට ලැබෙන අතර පාලකයා යඑට අවනතව ක්‍රියා කිරීම නිසා රාජ්‍ය පාලනය විනිවිඳ පෙනෙන ස්‌වභාවයක්‌ ගනී. නමුත් රාජ්‍ය පාලනයේ දී කඩිනම් වෙනසක්‌ අවශ්‍ය වූ විට ක්‌ෂණිකව වෙනස්‌ කල නොහැකිවීම මෙහි අඩුපාඩුවකි.


අලිඛිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව :


මෙසේ හැඳින්වෙන්නේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අයත් නීතිරීති ලියා තබා නොමැති අවස්‌ථාවකි. මහා බ්‍රිතාන්‍යයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ලියා තබා නොමැත. බ්‍රිතාන්‍ය ආණ්‌ඩුක්‍රමය දිගු කාලීන විකාශණයක ප්‍රතිඵලයක්‌ නිසා සම්ප්‍රදායයන් සහ සිරිත් විරිත් රැසක්‌ ලෙස පවතී. බ්‍රිතාන්‍යයේ ඇත්තේ නොලියැවුණු හෙවත් අලිඛිත ව්‍යවස්‌ථාවක්‌ ලෙස පිළිගැනුණ ද සමහර පනත් ලියැවී ඇති බවට නිදසුන් සපයාගත හැකිය.


උදාහරණ :-
*  1689 අයිතිවාසිකම් පනත
*  1767 නිරාකරණ පනත
*  1215 මැග්නා කාර්ටා හෙවත් මහ අධිකාරි පත්‍රය
*  1882 ඡන්ද පනත
*  1931 වෙස්‌මිනිස්‌ටර් පනත


මෙනිසා බ්‍රිතාන්‍ය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්පූර්ණයෙන්ම නොලියවුණු ව්‍යවස්‌ථාවක්‌ නොවේ.
වෙනස්‌වන දේශපාලන වාතාවරණය තුළ ව්‍යවස්‌ථාව පහසුවෙන් වෙනස්‌ කිරීමට හැකියාව ලැබීම මෙම ක්‍රමයේ ඇති වාසියයි. අලිඛිත වෘවස්‌ථාවක්‌ යටතේ පවතින පාලන තන්ත්‍රයට එය පහසුවෙන් වෙනස්‌ කර ගැනීමට හැකියාව ලැබීම නිසා අත්තනෝමතිකව ක්‍රියා කිරීමේ හැකියාව වැඩිවේ.


නම්‍ය අහ අනම්‍ය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා :


යම් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ මන්ත්‍රීවරුන්ගේ බහුතර ඡන්දයෙන් පමණක්‌ වෙනස්‌ කළ හැකිනම් එය ව්‍යවස්‌ථාවක්‌ ලෙස පිළිගැනේ. හදිසි ගැටළු සහගත අවස්‌ථා පැන නැඟුණු විට අවැසි වෙනස්‌කම් කරගත හැකිවීම නම්‍ය ව්‍යවස්‌ථාවක වාසියකි.


බ්‍රිතාන්‍ය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව නම්‍ය ව්‍යවස්‌ථාවක්‌ ලෙස පිළිගැනේ. නමුත් පාලකයන්ට තම අභිමතාර්ථ පහසුවෙන් ඉටුකරගැනීමට නම්‍ය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පහසුවෙන් වෙනස්‌ කරගත හැකිවීම එක්‌තරා අන්දමක දුබලතාවයක්‌ ලෙසද දැක්‌විය හැකිය.


අනම්‍ය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යනු පහසුවෙන් වෙනස්‌ කළ නොහැකි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවන්ය. ප්‍රංශ, ඇමෙරිකා, ශ්‍රී ලංකා, ජපාන, බ්‍රසීල ආදී ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවන් අනම්‍ය ව්‍යවස්‌ථා වේ.


ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ යම් වගන්තියක්‌ වෙනස්‌ කිරීමට අවශ්‍ය වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ 2/3 ක ඡන්දයෙන් හෝ ජනමත විචාරණයකින් එසේ කළයුතුය. නැතහොත් මෙම ක්‍රම දෙකම අනුගමනය කර හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීති විශාරදයන් ලවා විශ්ලේෂණයකර අනුමැතිය ලබාගත යුතුය. මෙනිසා ලංකා ආණ්‌ඩුක්‍රම වෘවස්‌ථාව ඉතා දැඩි හෙවත් අනම්‍ය ව්‍යවස්‌ථා ගණයෙහි ලා සැලකිය හැකිය. සාමාන්‍යයෙන් ඒකීය රාජ්‍යයක ව්‍යවස්‌ථාදායක විධායක සහ අධිකරණ යන බලයයන් මධ්‍යම ආණ්‌ඩුව වෙත සංකේන්ද්‍රණය වී ඇති නිසා ඒවා ආරක්‌ෂාකර ගැනීමට මෙවැනි අනම්‍ය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ තිබීමෙන් හැකි වේ.


ඒකීය සහ සන්ධීය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවන් :


ඒකීය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ යනු මුළු රට සඳහාම නීති සමපාදනය කොට ක්‍රියාත්මක කිරීමේ බලය මධ්‍යම ආණ්‌ඩුවට හිමි වීමයි. ව්‍යවස්‌ථාදායක විධායක සහ අධිකරණ යන ත්‍රිවිධ බල මූලාශයන්ම මධ්‍යම ආණ්‌ඩුව වෙත ඒකරාශි වී ඇති ආණ්‌ඩුක්‍රමය ඒකීය ක්‍රමය වේ. ශ්‍රී ලංකාව, බ්‍රිතාන්‍ය යන රාජ්‍යයන් මෙයට නිදසුන් වේ. ලංකාවේ සියලුම ප්‍රදේශවලට අදාළ නීති සම්පාදනය කෙරෙනුයේ මධ්‍යම ආණ්‌ඩුවෙනි. මෙනිසා මෙය ඒකීය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ලෙස හැඳින්වේ.


සන්ධීය ආණ්‌ඩුක්‍රමය යනු මධ්‍යම ආණ්‌ඩුවක්‌ සහ ප්‍රාන්ත රාජ්‍ය මඟිනුත් බලය විමධ්‍යගත කරන ලද පාලන ක්‍රමයකි. බොහෝ විට සන්ධීය ආණ්‌ඩුක්‍රමයක ව්‍යවස්‌ථාව ලිඛිත අනම්‍ය එකක්‌ විය යුතුය. නැතහොත් මධ්‍යම ආණ්‌ඩුව සහ ප්‍රාන්ත ආණ්‌ඩු අතර ඇතිවන ගැටළු නිරාකරණය කර ගැනීම අපහසුවේ.






පින්තුරය


මෙය එකම රාජ්‍යයක්‌ යටතේ බලය බෙදාහැරීමකි. ඹහුජාතික, බහු ආගමික වර්ග ප්‍රමාණයෙන් විශාල භු ලක්‌ෂණ අතින් සංකීර්ණ රටවලට මෙම ක්‍රමය යෝග්‍යවේ. පරිපාලන කටයුතුවලදී වියදම් අධික වීම ප්‍රාන්ත ආණ්‌ඩු බලවත් වී මධ්‍ය ආණ්‌ඩුවෙන් ගිලිහී යාම වැනි ගැටලු පැන නැඟීමට ද මෙමඟින් ඉඩකඩ ලැබේ. ස්‌වීට්‌සර්ලන්තය, ඉන්දියාව, රුසියානු සමූහාණ්‌ඩුව, ඇමෙරිකාව මෙසේ සන්ධීය ආණ්‌ඩු ක්‍රමයක්‌ පවතින රටවලට නිදසුන් වේ.


මෙම කුමන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවන් යටතේ වුවද බලාපොරොත්තු වන්නේ මූලික මිනිස්‌ අයිතිවාසිකම් ආරක්‌ෂා කරගනිමින් වඩා හොඳ ජීවන තත්වයක්‌ රටවැසියාට ලබාදීමයි. මේ සඳහා බහුතරයේ කැමැත්ත ලබාගත් ආණ්‌ඩුවක්‌ බලයට පත්විය යුතු අතර පවතින ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අන;කුලව මහත්මා දේශපාලනයේ නිරතවිය යුතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017