8. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව කටයුතු කිරීම
 

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ යනුවෙන් හදුන්වන්නේ ඕනෑම රටක්‌ පාලනය කරන ආකාරය සඳහන් වන නීතිමය රාමුවක්‌ තුළ පවත්වාගෙන යනු ලැබූ ලියන ලද හෝ නොලියන ලද සම්ප්‍රදායන් සමූහයකි. ඕනෑම රටක්‌ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවකට අනුව පාලනය වන්නේ නම් ව්‍යවස්‌ථානුකුල පාලනයක්‌ ලෙස අර්ථ දැක්‌විය හැකිය. එවැනි අවස්‌ථාවක පාලකයන්ට අත්තනෝමතික ලෙස පාලන තන්ත්‍රය ගෙනයාම අසීරුවේ. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිගෙන රාජ්‍ය කටයුතු මෙහෙයවීම නීතියේ ආධිපත්‍ය මත කෙරෙන පාලනයක්‌ ලෙස පිළිගැනේ.


ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා පිළිබඳව ඇති විවිධ මත


*  ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ යනු පුරවැසියන් සහ රාජ්‍ය තන්ත්‍රයට සම්බන්ධ කොටස්‌ කරුවන් අතර සම්බන්ධතාවය ගොඩනඟන්නාවු මාවතයි.
                            - ග්‍රීක මහා දාර්ශනික ඇරිස්‌ටෝටල්
*
  ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වනාහි රාජ්‍යයක හරය වන අතර එහි ප්‍රධාන කාර්යයන් පැහැදිලිකර ඒවා ක්‍රියාවට නංවන නීත්‍යානුකුල බලයක්‌ සහිත ලියැවිල්ලකි.
                                 - හුඩ් පිලිප්ස්‌
*  ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යනු කිසියම් රටක නිෂ්පාදන සම්බන්ධතාවල ස්‌වභාවය පැහැදිලි කරන ලියැවිල්ලකි.
                            - කාල් මාක්‌ස්‌
*  ආණ්‌ඩුවේ ක්‍රියාත්මක ස්‌වභාවය පෙන්වන නීති අඩංගු ලියැවිල්ලකි.
                                        
- බ්‍රසිස්‌ සාමිවරයා
*
  රාජ්‍යයේ ස්‌වාධිපත්‍ය බලය බෙදා හැරීම විදහා දක්‌වන සියළුම ආකාරයේ සෘජු සහ වක්‍ර නීති අඩංගු ලියැවිල්ල ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ලෙස නම් කළ හැකිය.
                                     - ඩයිසි
*  භාෂාවක්‌ මගින් නිවැරදිව අදහස්‌ ප්‍රකාශ කිරීමට නම් එය ව්‍යාකරණානුකුලව භාවිතාකළ යුතුය. එමෙන්ම සංවිධානාත්මක ආණ්‌ඩුවකට ද ව්‍යවස්‌ථාවක්‌ තිබිය යුතුය.
                                          - ටොම් පේන්
*  ආණ්‌ඩුවේ ප්‍රධාන ආයතනවල සැකසුම සහ එහි ක්‍රියාත්මක භාවය පෙන්වන නීති&`නුකුල ලියැවිල්ල ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වේ.
                                         
- ඊ.සී.එච්. ඩේවි
*
  පොදු යහපත උදෙසා බුද්ධිය යොදවා සකස්‌ කරන ලද නීති සහ සමාජ සම්ප්‍රදායයන්ගෙන් සමන්විත ලියැවිල්ල ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවයි.
                                           - එස්‌.ඒ.ද ස්‌මිත්


මෙසේ විවිධ දේශපාලන අදහස්‌ දරන අයගේ මතයන්ට අනුව රාජ්‍ය පාලනයට අවශ්‍ය මූල ධර්ම ඇතුලත් ලියැවිල්ල ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ලෙස අර්ථ ගැන්විය හැකිය. ලෝකයේ ප්‍රථම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ලෙස සැලකෙන්නේ 1789 ඇමෙරිකානු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මණ්‌ඩලයක්‌ මඟින් පිළියෙල කරන ලද්දකි. 17 වන සියවසේ දී ව්‍යවස්‌ථාදායක, විධායක සහ අධිකරණ යන බලයන් එක්‌ පුද්ගලයෙකු වටා සංකේන්ද්‍රණය වීම වැළැක්‌වීම සඳහා බලතල වෙන්කර දැක්‌වීමට උනන්දු විය. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස 19 සියවස වන විට බලතුලනය සහිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවන් නිර්මාණය විය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මූලික නීතිය ලෙස පිළිගෙන යඑට ගරුකරමින් එහි දක්‌වා ඇති කරුණුවලට අවනත වෙමින් රාජ්‍ය පාලන කටයුතු මෙහෙයවීම ප්‍රජාතන්ත්‍රවාදී රටවල මූලික ලක්‌ෂණයකි.


ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක අඩංගු විය යුතු මූලික කරුණු කිහිපයකි


1.  සමාජය පිළිගත් සම්ප්‍රදායන් සහ උත්තරීතර නීතිය ඒ තුළ අන්තර්ගත විය යුතුය.
2. ආණ්‌ඩුවේ මූලික ආයතන ව්‍යුහය කෙසේ විය යුතු දැයි එහි සඳහන් විය යුතුය.
3. ආණ්‌ඩුවේ ආයතනවලට හිමි කාර්ය, බලතල සහ ඒ ඒ ආයතනයන් හි සම්බන්ධතාවය සඳහන් විය යුතුය.
4. රජය සහ මහජනයා අතර පැවතිය යුතු සම්බන්ධතාවයේ ස්‌වරූපය.
5.  රටවැසියාගේ මූලික අයිතිවාසිකම්.
6. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමේ දී ගත යුතු ක්‍රියා මාර්ග.


ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව රටවැසියන් සියලු දෙනාටම වටහාගත හැකි භාෂාවකින් පැහැදිලිව ලියා තැබීම අතෘවශ්‍ය කරුණකි. එනිසා පුද්ගල අයිතිවාසිකම් කඩ වූ අවස්‌ථාවක ඒ පිළිබඳව කටයුතු කිරීමට රටවැසියාට හැකියාව ලැබෙයි.

(c) Shilpa Sayura Foundation 2006-2017