* "සෑම කෙනෙකුව සමාන අයිතිවාසිකම් ඇතිව මවන ලද බව පිළිගනිමු"
- ස්‌වාධීනතා ප්‍රකාශනය, ඇමෙරිකා එක්‌සත් ජනපදය
* "මිනිසා උත්පත්තියේ සිට මරණය දක්‌වා සමාන අයිතිවාසිකම් උරුම කොට ඇත."
- මිනිස් අයිතිවාසිකම් පිළීබඳ විශ්ව ප්‍රකාශය, 1789 ප්‍රංශය
* "තමාට මෙන්ම අන් අයට ද සමාජයේ කටයුතු කිරීමට ඇති අයිතිය සහ නිදහස."
- ජෝර්ජ් බර්නාඩ් ෂෝ
* "රාජ්‍යයක සමානාත්මතාවය ආරක්‌ෂා වීමට නම් ජනතාව සූරා කෑමෙන් තොරවූ ප්‍රතිපත්තීන් මත පදනම් වූ සමාජයක් ගොඩනැංවිය යුතුය."
- කාල් මාක්‌ස්
* "මිනිසුන්ට තම පුද්ගලිකත්වය ආරක්‌ෂාකර ගැනීමට අවශ්‍ය අවස්‌ථාවක් උදාකර දීමෙන් සමානාත්මතාවය රැකගත හැකිය."
- හැරල්ඩී ජේ. ලැස්‌කි
* "ස්‌වාභාවික නීතිය යටතේ සෑම මනුෂ්‍යයෙකුම එක හා සමාන ලෙස පිළිගත යුතුව
ඇත."
- රෝම දාර්ශනික සිසෙරෝ
* "මා භුක්‌ති විඳින සියලු අයිතිවාසිකම් අන් අයට ද භුක්‌ති විදීමට අවස්‌ථාව ලැබිය යුතුය. එසේම අන් අය භුක්‌ති විඳින අයිතිවාසිකම් මට ද භුක්‌ති විදීමට අවස්‌ථාව සැලසේ නම් එය සමානාත්මතාවයයි." - අර්නස්‌ට් බේකර්
සමානාත්මතාවය යනුවෙන් අදහස් කරන්නේ අයිතිවාසිකම් අතින් සෑම අයෙකුම සමානත්වයෙහි ලා සැලකීමයි. ශාරීරක අතින් හෝ මානසික අතින් ලොව කිසිදු පුද්ගලයන් දෙදෙනෙකු එක සමාන නොවේ. තමන් සතු වත්පොහොසත් කම් අතින් ද මිනිසුන් බොහෝ දුරට අසමාන වේ. එහෙත් රටවැසියන් වශයෙන් ගත් කළ ඔවුන් එකිනෙකාට සමානත්වයෙන් යුතු යැයි පිළිගැනේ. බොහෝ සමාජයන් තුළ ඇති වූ විප්ලවයන්හි මූලික අරමුණ වූයේ සමානාත්මක සමාජයක් ගොඩනැංවීමයි. බොහෝ විට අත්තනොමතික ලෙස පාලනය ගෙන ගිය පාලකයන්ට විරුද්ධව සහ වැඩකරන ජනතාවගේ ශ්‍රමය සූරාකමින් සුඛෝපභෝගි ජීවිත ගතකළ ඉහළ පන්තියේ සමාජයට විරුද්ධව ඇති කළ විප්ලව තුළින් සමානාත්මක සමාජයක් ගොඩනැංවීමට ඔවුහු උත්සුක වූහ. මෙම විප්ලව වල ප්‍රතිඵල ලෙස ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම සාර්ථක වූ අතර පුද්ගලයන් අතර සමානත්වයක් තිබිය යුතු බව ද පිළිගැනිණි.
සමානාත්මතාවය තුළ අඩංගු ලක්‌ෂණ
* කිසිදු ආකාරයක විශේෂ සැලකීමක් පුද්ගලයාගෙන් පුද්ගලයාට නොපැවතීම.
* පෞද්ගලිකත්වය ආරක්‌ෂා කර ගනිමින් සමාන අයිතිවාසිකම් ලබාගැනීමට සියලු
දෙනාටම සමාන අවස්‌ථාවක් ලැබීම.
* රජයේ මැදිහත්වීමෙන් සමාන ආර්ථික අයතිවාසිකම් ලබාගැනීමට සෑම දෙනාටම
හැකියාව ලැබීම.
මෙම අදහස් පිළිබඳව සලකා බැලීමේදී සමාජයේ ජීවත්වන සියලු දෙනාටම සමාන අයුරින් අයිතිවාසිකම් භුක්‌ති විදීමට සැලැස්‌වීම සමානාත්මතාවය වන බව පෙනේ. නමුත් රටවැසියාට තම පෞද්ගලිකත්වය ද ආරක්‌ෂාකර ගැනීමේ අවස්‌ථාවද හිමි විය යුතුය.
උදාහරණයක් ලෙස බහු සංස්‌කෘතියක් පවතින ලංකාව වැනි රටක සිංහලයන් තමන්ගේ අනන්‍යතාවය ආරක්‌ෂාවන පරිදි ද දමිළ ජනතාවට තම සංස්‌කෘතික උරුමයන් ආරක්‌ෂාවන පරිදි ද ජීවත්වීමේ අයිතිය තිබිය යුතුය. එසේ තිබෙන අතරතුරදීම පුරවැසියන් අතර සමානත්වය ද ආරක්‌ෂා විය යුතුය. මෙනිසා පුරවැසියන් අතර සමානාත්මතාවය ආරක්‌ෂා කර ගැනීමට නම් රජය අනිවාර්යයෙන්ම මැදිහත් විය යුතුය.
නිදහස
ලතින් භාෂාවෙන් LIBER යන වචනයේ තේරුම වන්නේ විලංගුවලින් මිදුණු යන අදහසයි. මේ අනුව සියලු බැමි වලින් නිදහස් යන අදහස ගෙන දෙන LIBARTY යන ඉංග්‍රීසි වචනය බිහි වී තිබේ. කිසිදු බාධාවකින් තොරව මිනිසාට තම කටයුතු කරගෙන ජීවත්වීමට ඇති අයිතිය නිදහස යනුවෙන් අපි හදුන්වමු.
නිදහස පිළිබඳ ඇති විවිධ මත :
* "සදාචාර සුභසිද්ධිය මුළුමනින්ම දක්‌වතොත් එය නිදහස හදුන්වන කෙටිම අර්ථයයි."
- ටී.එච්. ග්‍රින්
* "මිනිසාට තම පෞද්ගලිකත්වය ආරක්‌ෂා කර ගැනීමට පරිසරයෙන් ලැබී ඇති
ආරක්‌ෂාව වනාහි නිදහසයි."
- හැරල්ඩ් ජේ. ලැස්‌කි
* "බාහිර බලපෑමෙන් තොරව පුද්ගලයාට තම පෞද්ගලිකත්වය රැක ගැනීමට ලැබෙන
ඉඩකඩ නිදහස වේ"
- ජී.ඩී.එච්. කොල්
* "මිනිසා නිදහස්‌ව උපදී. එහෙත් ඔහු සෑම තැනකම යදම්වලින් බැඳී සිටියි”."
- රූසෝ
* "මිනිසාට උතින්ම හිමි වූ නිදහස රජය විසින් ලබාදිය යුතුය. එසේ කිරීමට සෑම රජයක්‌ම බැඳී සිටියි."
නිදහස යනු අන්‍යයන්ට පීඩානොවන ආකාරයේ ඕනෑම ක්‍රියාවක් කිරීමට ඇති අයිතියයි.
- බ්ලැක්‌ස්‌ටන්
* "කිසිවෙකුගේ බලපෑමකින් තොරව තම ජීවන කාර්යයන් ගෙන යාමට ඇති අවස්‌ථාව
නිදහස වන අතර එයින් සමාජයට හානියක් නොවිය යුතුය."
- ජෝන් ස්‌ටුවට් මිල්
මෙම නිර්වචන මඟින් කියැවෙන්නේ ජනතාවට බොහෝ දුරට අන්‍යයන් ගේ බලපෑමෙන් තොරව ජීවත්වීමට ඇති අයිතියයි. නමුත් මෙම අයිතිය යම් යම් සීමාවන් යටතේ තිබිය යුතු බව අපට පෙනේ. සමාජයේ පොදු යහපත සඳහා මෙසේ නිදහස යම් ප්‍රමාණයකට සීමා කළ යුතුය. හේතුව ඕනෑම රටක ජනතාවගේ නිදහස සමාජයට සදාචාරයට සංස්‌කෘතියට අවනත වූ නිදහසක් විය යුතු නිසාය. නිදහස ප්‍රධාන සංකල්ප 4ක් යටතේ නිර්වචනය කළ හැකිය.
1. සිවිල් නිදහස
2. දේශපාලන නිදහස
3. ආර්ථික නිදහස
4. ආගමික නිදහස
සිවිල් නිදහස
* නිදහසේ එහා මෙහා යාමේ අයිතිය
* නීතිය ඉදිරියේ සමානත්මතාවය සහ රැකවරණය ලැබීමේ අයිතිය
* පුද්ගලික දේපල තබා ගැනීමේ අයිතිය
* අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය
දේශපාලන නිදහස
* මැතිවරණයකට නියෝජිතයෙකු ලෙස ඉදිරිපත් වීමේ අයිතිය
* තමන් කැමති දේශපාලන දර්ශනයකට සම්බන්ධ වී ක්‍රියා කිරමේ අයිතිය
* කැමති දේශපාලන පක්‌ෂයකට බැඳීමේ අයිතිය
* දේශපාලන රැස්‌වීම් පැවැත්වීම, පත්‍රිකා ආදිය නිකුත් කිරීම, අදහස් ප්‍රකාශ
කිරීමට ඇති අයිතිය
* රජයේ කටයුතු විවේචනයට ඇති අයිතිය
ආර්ථික නිදහස
රැකියාවක යෙදීමේ අයිතිය
* සාධාරණ කාලයක් ඇතිව සාධාරණ වැටුපක් ලැබීමේ අයිතිය
* රැකියාවේ දී ආරක්‌ෂාවක් ලැබීමේ අයිතිය
* පෞද්ගලික ධනය රැස්‌කිරීමේ අයිතිය
* සේවා වියුක්‌ති, ලෙඩ රෝග අනතුරුවලදී වන්දි ලබාගැනීම සහ විශ්‍රාම වැටුප්
ලබා ගැනීමේ අයිතිය
ආගමික නිදහස
* සදාචාරයට යටත්වන අන්දමේ ආගමක් ප්‍රචාරය කිරීමට සහ අන් අයට
ඉගැන්වීමේ අයිතිය
* හෘද සාක්‌ෂියට අනුව කටයුතු කිරීමේ අයිතිය
මෙසේ නිදහස නිර්වචන කිහිපයක් යටතේ විග්‍රහ කළහැකි වුවද පුද්ගලයා සතු නිදහස අසීමිත නොවේ. පුද්ගලයා සතු උපරිම නිදහස අන් අයට හානියක් නොවන අයුරින් භාවිතා කළ යුතුය. එනිසා පුද්ගලයා සතු නිදහස සමස්‌ත සමාජයේම පොදු යහපත සඳහා ක්‍රියාත්මක වන්නක් බව පෙනේ. එමෙන්ම නිදහස වනාහි නියත වශයෙන්ම යම් යම් සීමාවන්ට යටත්ව තිබෙන දෙයක් වන අතර එයඑ කිනෙකාගේ පෞද්ගලිකත්වය ආරක්‌ෂාකරන්නක් ද වේ.