6. නිදහස්‌ හා සාධාරණ මැතිවරණය
 

මැතිවරණය යනු කිසියම් රාජ්‍යයක ව්‍යවස්‌ථාදායකය සඳහා නියෝජිතයන් තෝරා ගැනීමට මහ ජනතාවගේ බහුතර කැමැත්ත විමසීමයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක පාලකයන් පත් කෙරෙනුයේ නිදහස්‌ සහ සාධාරන මැතිවරණයක්‌ තුළිනි. මේ අනුව රටවැසියාගේ සිතැඟි අනුව රටේ පාලනය සිදුවේ යැයි බලාපොරොත්තුවේ. පුරවැසියන් වන අවුරුදු 18 වැඩි ස්‌ත්‍රී පුරුෂ දෙපක්‌ෂයටම ස්‌වකීය කැමැත්ත ප්‍රකාශ කළ හැකි අන්දමේ සාධාරණ මැතිවරණයක්‌ තුළින් රාජ්‍ය පාලනයේ විනිවිද ස්‌වභාවයක්‌ දැකිය හැකි යැයි අපේක්‌ෂා කෙරේ. කලින් කල පවත්වන මහමැතිවරණ මඟින් තමන්ට කැමති ආණ්‌ඩුවක්‌ පත්කර ගැනීමට මිනිස්‌සුන්ට ඇති අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක ඇති වැදගත්ම ලක්‌ෂණයයි. එම මැතිවරණවලදී තමන්ට කැමති පක්‌ෂයක තම නියෝජිතයන් සර්වජන ඡන්ද බලයෙන් තෝරා පත් කර ගැනීමට මහජනතාවට අයිතියක්‌ තිබිය යුතුය. මේ සඳහා රැස්‌වීම් පැවැත්වීමේ නිදහස, අදහස්‌ ප්‍රකාශ කිරීමේ අයිතිය, ජනතාව දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදාහැරීම, පුවත්පත් නිවේදන නිකුත් කිරීම, රූපවාහිනී, ගුවන්විදුලි ආදී සන්නිවේදන මාධ්‍ය තුලින් ජනතාව දැනුවත් කිරීමේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක්‌ තුල දක්‌නට ලැබිය හැකි ලක්‌ෂණයකි.


සාධාරණ සහ නිදහස්‌ මැතිවරණයක්‌ පැවැත්වීමේ අභිමතාර්ථය විය යුත්තේ රාජ්‍ය පාලනය "පොදු කැමැත්ත" මත සිදුවිය යුතුය යන්නයි. එනිසා මැතිවරණයක්‌ පැවැත්වීමේදී ඡන්ද දායකයන්ට බලපෑමකින් තොරව තම කැමත්ත ප්‍රකාශ කිරීමට අවශ්‍ය පසුතලය සැකසී තිබීම වැදගත් ය. මේ නිසා කලින් කලට තමන් කැමති ආණ්‌ඩුවක්‌ බලයට පත්කර ගැනීමට අවශ්‍ය පසුබිම සැකසී තිබිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය වුවද කල්ගතවීමෙන් ඒකාධිපති පාලනයකට නැඹුරුවිය හැකිය. පාලන කාලය අනවශ්‍ය ලෙස දීර්ඝ කර ගනිමින් පාලන බලයේ රැදී සිටීම වැලැක්‌වීම සඳහා කලින් කල පවත්වන නිදහස්‌ හා සාධාරණ මැතිවරණ තුලින් හැකිය.


ඡන්ද කොට්‌ඨාශ ක්‍රමය :


ප්‍රජාතන්ත්‍රවාදී ආණ්‌ඩුක්‍රමයන් තුළ ජනතාවට සිය ඡන්දය භාවිතා කිරීමට විවිධ උපක්‍රම ක්‍රියාවට නංවා ඇත. මේ අනුව ඡන්ද කොට්‌ඨාශවලට අනුව ජනතාව සිය ඡන්දය භාවිතා කළ යුතු වේ. ඡන්ද කොට්‌ඨාශද අවශ්‍යතාවන් අනුව විවිධ වර්ගීකරණයන්ට යටත් වේ.



කේවල ඡන්ද කොට්‌ඨාශ :


මෙය සරල බහුතර නියෝජන ක්‍රමය ලෙසින් ද හැඳින්වේ. මේ සඳහා ඡන්ද කොට්‌ඨාශයක්‌ තීරණය කරනු ලබන්නේ නිශ්චිත වර්ග ප්‍රමාණයක්‌ ඇති භුමි ප්‍රමාණයක්‌ හෝ ප්‍රමාණාත්මක සනසංඛ්‍යාවක්‌ ඇති ප්‍රදේශයක්‌ සැලකිල්ලට ගනිමිනි. මෙවැනි ඡන්ද කොට්‌ඨාශයකට ඒ ඒ පක්‌ෂ නියෝජනය කරමින් එක්‌ අපේක්‌ෂකයෙකුට ඡන්දයට ඉදිරිපත් විය හැකිය. වැඩිම ඡන්ද සංඛ්‍යාවක්‌ ලබාගන්නා අපේක්‌ෂකයා එම ඡන්ද කොට්‌ඨාශයේ නියෝජිතයා වශයෙන් තේරී පත්වෙයි.


A  ලබාගත් ඡන්ද සංඛ්‍යාව  4000
B  ලබාගත් ඡන්ද සංඛ්‍යාව  3000
C  ලබාගත් ඡන්ද සංඛ්‍යාව  2000


මෙහි දී තේරී පත්වන අපේක්‌ෂකයා වන්නේ A ය. නමුත් මෙහිදී B සහ C ගේ ඡන්දවල එකතුව A ගේ ඡන්ද සංඛ්‍යාව අභිබවා යන නමුත් එය සැලකිල්ලට නොගැනේ. තේරී පත්වන්නේ එක්‌ අපේක්‌ෂකයෙකු පමණී. මෙහිදී පුද්ගලයා කැපීපෙනීම විශේෂ ලක්‌ෂණයකි.


මෙම ක්‍රමයේ වාසි මෙන්ම අවාසි ද ඇත. එනම් බොහෝවිට ආණ්‌ඩු පක්‌ෂය සහ විපක්‌ෂය යනුවෙන් පක්‌ෂ දෙකක්‌ කැපී පෙනීම විශේෂ ලක්‌ෂණයකි. සුළු පක්‌ෂ වලට බලයට පත්වීමේ හැකියාව මෙම ඡන්ද කොට්‌ඨාශ ක්‍රමය තුලින් බොහෝ දුරට වැළකේ. මෙම කොට්‌ඨාශයෙන් තේරී පත්වන මන්ත්‍රීවරයකුට ඇමති පදවියක්‌ ලැබුණහොත් තම මන්ත්‍රී ආසනයේ අඩු පාඩු සොයා බැලීමේ අවස්‌ථාව හීන වේ. මෙනිසා තමා බලයට පත්කළ ජනතාවට සේවය කිරීමේ අවස්‌ථාව බොහෝ විට මඟ හැරී යා හැකිය. නමුත් සාමාන්‍ය මන්ත්‍රීවරයකුට තම ආසනයේ ජනතාව සමඟ ඉතා සමීපව කටයුතු කිරීමේ හැකියාව මේ තුළින් ලැබෙයි. මන්ත්‍රීවරයා මියගියහොත් හෝ ඉල්ලා අස්‌වුවහොත් ඒ මන්ත්‍රී කොට්‌ඨාශය සඳහා නැවත අතුරු මැතිවරණයක්‌ පැවැත්විය යුතුය. එමඟින් පවතින රජය පිළිබඳ ජනතා ප්‍රසාදය කොතෙක්‌දැයි මැනගත හැකිය. කිසියම් විටෙක රටෙහි ඇතිවන යම් ප්‍රවනතාවයක්‌ නිසා ආණ්‌ඩු පක්‌ෂයට වැඩි බලයක්‌ හිමිවී ප්‍රබල ආණ්‌ඩුවක්‌ ඇති වූ විට විපක්‌ෂයේ හඬ යටපත් වී සමහර අවස්‌ථාවක රටට අහිතකර අණ පණත් සම්මතවීමේ හැකියාව ඇති වේ. ශ්‍රී ලංකාවේ 1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුලින් විධායක ජනාධිපතිධූරය ඇති කිරීම එවැනි තත්වයකට නිදසුනකි.


බහු මන්ත්‍රී කොට්‌ඨාශ :


සුළු ජන කොටස්‌ වාසය කරන මන්ත්‍රී කොට්‌ඨාශ තුළ ඔවුන්ගේ නියෝජිතයෙකුට කේවල ඡන්ද කොට්‌ඨාශ ක්‍රමය තුළින් බලයට පත්වීම අසීරුය. මෙනිසා එක්‌ ඡන්ද කොට්‌ඨාශයක්‌ තුළ මන්ත්‍රීවරු දෙදෙනෙකු හෝ තිදෙනෙකු තෝරා පත්කර ගැනීම බහු මන්ත්‍රී කොට්‌ඨාශ ක්‍රමය තුළින් සිදුවේ. ඒ අනුව ඡන්ද දායකයෙකුට තෝරා පත් කර ගත යුතු මන්ත්‍රී සංඛ්‍යාව අනුව, ඡන්ද දෙකක්‌ හෝ තුනක්‌ හිමි වේ. මෙමගින් එක්‌ ඡන්ද කොට්‌ඨාශයක්‌ නියෝජනය කිරීම සඳහා මන්ත්‍රීවරු කිහිපදෙනෙකුට අවස්‌ථාව හිමි වේ. ශ්‍රී ලංකාවේ දකුණු කොළඹ, මැද කොළඹ, මඩකලපුව, බලපිටිය එසේ පැවති බහු මන්ත්‍රී ආසන විය.


සමානුපාතික නියෝජන ක්‍රමය :


සමානුපාතික නියෝජන ක්‍රමයේ පරමාර්ථය වන්නේ බහුතර පක්‌ෂ වලට මෙන්ම සුළුතර පක්‌ෂවලට ද කිසියම් නියෝජනයක්‌ ලබාදීමය. මේ නිසා කිසියම් දිස්‌ත්‍රික්‌කයක්‌ තුළ එක්‌ එක්‌ පක්‌ෂය ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය අනුව ආසන ලබාදීම සිදුවේ. මෙනිසා සුළුතර පක්‌ෂවලට ද ආසන එකක්‌ හෝ ලබාගැනීමේ වරම හිමිවෙයි.


සමානුපාතික නියෝජන ක්‍රමයේ දී ඡන්ද ක්‍රමය පිළිබඳව මනා දැනුමකින් යුතු විය යුතුය. මේ සඳහා එක්‌ එක්‌ පක්‌ෂ වලින් අපේක්‌ෂකයන් 25 දෙනෙකුගේ පමණ ලැයිස්‌තුවක්‌ ඉදිරිපත් කෙරේ. ඡන්ද දායකයා පළමුව තමා කැමති පක්‌ෂය ඉදිරියේ කැමැත්ත ප්‍රකාශකර ඒ ඒ පක්‌ෂයේ අදාළ අංකය හිමි අපේක්‌ෂකයාගේ අංකයට කතිර සලකුණ යෙදිය යුතුය. මෙසේ එක්‌ ඡන්ද දායකයෙකුට මනාප ඡන්ද තුනක්‌ ලකුණු කිරීමට අවස්‌ථාව හිමිවෙයි. ඉන් පසුව වැඩිම ඡන්ද සංඛ්‍යාවක්‌ ලබාගත් පක්‌ෂයත් එයට පත්විය යුතු මන්ත්‍රී සංඛ්‍යාවත් තීරණය කර මනාප ලකුණු කර ඇති ප්‍රමාණයෙන් මන්ත්‍රීවරු තෝරා ගැනීම කෙරේ. මෙම ක්‍රමය ඉතා සංකීර්ණ වන අතර ඡන්දය ප්‍රකාශ කිරීමේ දී මෙන්ම ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලියද අතිශයින්ම සංකීර්ණ වෙයි.

(c) Shilpa Sayura Foundation 2006-2017