3. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ විකාශය
 

සෘජු ප්‍රජාතන්ත්‍රවාදය :


ග්‍රීසියේ ඇතැන්ස්‌ පෞර රාජ්‍යය තුලින් බිහි වු පාලනය නිසා ස්‌ථාපිත වු ප්‍රජාතන්ත්‍රවාදි පාලනයට ජනතා සහභාගිත්වය එක එල්ලේම සිදුවිය. මෙම පාලන ක්‍රමයේ සුවිශේෂි ලක්‌ෂණය වූයේ පාලන කටයුතු සඳහා සියලු දෙනාටම සහභාගිවීමට තිබූ හැකියාවයි. වැදගත් කරුණු සම්බන්ධව තීරණ ගැනීමේදී 6000 පමණ සහභාගිත්වයක්‌ තිබිය යුතු බව එකල පිළිගැනීම විය. මෙසේ විශාල සංඛ්‍යාවක්‌ සහභාගි වුවද කථා කිරීමේ හැකියාව ඇති දක්‌ෂ කථිකයන් කිහිප දෙනෙකුට මෙම සභාවේ කටයුතු සීමා වී තිබීම බලවත් අඩුපාඩුවකි. එනිසා මෙය සෘජු ජනතා සහභාගිත්වයෙන් ගෙන ගිය පාලන ක්‍රමයක්‌ විය. මෙහිදී පුරවැසියන් පොදු සේවයට කැප වූ අතර යුද්ධයකදී තම ජීවිතය කැප කරමින් යුද කළ අතර සාමය පැවති කාලවලදී තම මුළු කාලයම කැප කළේ රාජ්‍ය සේවය වෙනුවෙනි. මෙවැනි පාලන ක්‍රමයක්‌ හැඳින්වූයේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙනි. මෙය පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදය ලෙසද හදුන්වා තිබිණි. පැරණි ඇතන්ස්‌ පුර රාජ්‍යවල 500ක ගෙන් පමණ වූ විධායක සභාව යෝජනා ඉදිරිපත් කිරීමට එක එල්ලේම ඉදිරිපත් වු අතර දිනපතා කටයුතු මෙහෙය වූයේ 50 දෙනෙකුගෙන් සමන්විත වු පුරවැසි සභාව මගිනි.


නඩු විසදීමේ දී 6000 ක ගෙන් යුත් පිරිසගෙන් තෝරාගත් පුරවැසි මණ්‌ඩලයක්‌ විය. වෘත්තීය නීතිවේදීන් මෙහි නොවූ අතර පුරවැසි මණ්‌ඩලය ඉදිරියේ නඩු විසදීම සිදු විය. මෙය සෘජු ප්‍රජාතන්ත්‍රවාදය පෞර රාජ්‍යවල ක්‍රියාත්මක වූ ආකාරයයි.


චක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය :


පැරණි ග්‍රීසියේ ක්‍රියාත්මක වූ ආකාරයට සෘජු ප්‍රජාතන්ත්‍රවාදය කිරීමේ අපහසුතා රාශියක්‌ පැන නැගී ඇත.


1. ජනගහනය වැඩිවීම.
2. රාජ්‍යයන් විශාල වීම.
3. නූතන සමාජ ප්‍රශ්න සංකීර්ණ වීම.
4. අධ්‍යාපන කටයුතු පුළුල් වීම.
5. ගෝලීයකරණය තුළින් අන්‍ය රටවල් සමඟ සම්බන්ධ වීම.
6. ලෝකයේ තවදුරටත් රාජාණ්‌ඩුක්‍රමය නොපැවතීම.


* ජනගහනය ක්‍රමයෙන් වැඩිවත්ම ජනතා සහභාගිත්වයෙන් යුත් පාලක මණ්‌ඩල පත්කර ගැනීමේ අසීරුතාවක්‌ විය. පාලක මණ්‌ඩලයට පත් කර ගත යුත්තේ කවුරුන්ද යන්න විශාල වශයෙන් මතභේදයට ලක්‌ වූ කරුණක්‌ විය. මේ නිසා බහුතරයකගේ කැමැත්ත පදිටි තොරාගත් කිහිප දෙනෙකු පාලක මණ්‌ඩලයට තෝරා යැවීම ආරම්භ විය. මෙය ඡන්ද ක්‍රමයේ ආරම්භය වූවාක්‌ මෙන්ම තමන් වෙනුවෙන් නියෝජිතයෙකු තෝරා පත්කර ගැනීමේ අවස්‌ථාවක්‌ ද විය.


*  නූතන රාජ්‍යයන් පැරණි ග්‍රීසියේ පෞර රාජ්‍යවලට වඩා විශාලත්වයෙන් වැඩිය. මෙනිසා පාලනය සඳහා සියලු රටවැසියන්ට සහභාගි වීමේ අවස්‌ථාව ගැටලු සහගතය. එමෙන්ම රාජ්‍යයන් හි භෞතික ලක්‌ෂණ විවිධාකාර නිසාද මෙම බාධකය තවත් උග්‍රවේ.


* නූතන සමාජ ප්‍රශ්න සංකීර්ණ විවිධ ජන සමාජවල විවිධ ජාතීන් මුහුණ පාන ගැටළු විවිධාකාරය. මිනිස්‌ අවශ්‍යතාවයන්ගේ ස්‌වරූපය ද වෙනස්‌ වී ඇත. මෙනිසා තමන් වෙනුවෙන් නියෝජිතයෙකු පත්කර ගැනීම ජනතාවට වඩාත් වාසිදායකය. වැසියාට තමාගේ ඕනෑ එපාකම් වඩාත් සංකීර්ණ මෙන්ම හෘදයාංගම අයුරින් තම නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ හැකිය.


*  ලෝකයේ අද ඇති වී තිබෙන දියුණුවත් සමඟම අධ්‍යාපන කටයුතු ද පුළුල් වී ඇත. පරිපාලනමය කටයුතු සියල්ල නීතියට අනුකුලව  ඉටුකළ යුතුය. මෙනිසා ඒ සම්බන්ධ දැනුමක්‌ ඇති පුද්ගලයන් පාලන කටයුතු වලට සම්බන්ධ විය යුතුය.


*  ගෝලීයකරණය තුළින් සෑම රටක්‌ම පාහේ අනෙක්‌ රටවල් සමඟ යම් අයුරකින් සම්බන්ධවේ. මෙනිසා එක්‌ රටකට බලපාන කරුණක්‌ අනෙක්‌ රටට ද කිසියම් බලපෑමක්‌ කළ හැකිය. එනිසා පරිපාලනමය කටයුතු සම්බන්ධව විශේෂ හැකියාවක්‌ ඇති අයගෙන් පාලන කටයුතු සිදුවිය යුතුය. මෙනිසා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළින් වඩාත් දක්‌ෂ කාර්යක්‌ෂම පුද්ගලයන් පත්කර ගැනීමේ අවස්‌ථාව සැලසෙයි.


*  ලෝකයේ තව දුරටත් රාජාණ්‌ඩුක්‍රමය නොපවතින නිසා පාලන කටයුතු සඳහා අනිවාර්යයෙන් ජනතා සහභාගිත්වය අවශ්‍ය වේ. මෙය ඉටුකරගත හැක්‌කේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය මගින් පමණී.

(c) Shilpa Sayura Foundation 2006-2017