හිම වනපෙත නැබුළු
ඉපිල නැඟි මෙන් ගිරිකුළු
අදුන් කුළු සේ කළු
වසා නුබ පතළේය ගන කුළු
වැසි වැස වතුරු විය
කුණු සකුණු හැම දුරු විය
එ පුර පිවිතුරු විය
එ වර හැම තුරුලිය අකුරු විය
නොහැර විල් වාපී
ගං හෝ ද පුරවාපී
මඟගිම් නිවාපී
සතුන් සිත සතොස කරවාපී
තම තම බල පමණ
සෙනඟ සහ මහරජ ගණ
මුනිදු සහ සඟ ගණ
පුදා නන් පුදවතින් අපමණ
සුර බඹ සෙන් සමඟ
පුද යොදා යොද මනරඟ
සැතපී අතරමඟ
වූය තුන් දවසකින් පුර ළඟ
වත මුනිදු පුර වෙත
පුද කොට සුර සෙනඟ එත
උන් දැක බියව සිත
දිවූ යක් සෙන් නොසිට දස අත
හැම රෝ දුක් පසුන්
වත යත යකුන් පිසසුන්
මුනිදුන් බුදු සසුන්
නිසා සුවපත්ව යන මිනිසුන්
පත් මෙන් එ පුර මැද
දහස් සුවහස් රිවි සඳ
දිගු එළි කැරැ එසඳ
පැමිණ පුරදොරට සුගතිදු සඳ
තමහට මෙහෙ පතා
කළ පින්කමින් සැපතා
වෙත සිටි නිති පතා
අනඳ මහතෙරිදු සඳ අමතා