මහ පුද කටැටියෝ
රුසිරෙන් සුරන් සැටියෝ
බුදු ගුණ දැවැටියෝ
වඩන මුනි දෙස බලා සිටියෝ
අහස සිටි විදුමෙන්
සුර සෙන් කරන පිදුමෙන්
නැව් සෙනඟ පැදුමෙන්
එතෙර සිටි නරනිදුන් යෙදුමෙන්
රස් වතුරේ දැවැටී
නරන් කැරැ රන් රූ සැටී
නැව මුනිදුන් පිහිටී
නිවන් පුර සේ ම වුත් ගොඩ දිටී
ගල පමණක් දියට
බැස නරනිදුහු එම විට
නැව ඇදගෙන ගොඩට
බුදුන් බාවා ගත්හ එගොඩට
පිය නිරිදු සිරසට
මිණි බර කිරුළු විලසට
පත් මල්වට බවට
කාළදේවල රුසින් මුදුනට
කොසොල් රද රද හස
තුටු කළ පිපි පියුම් ලෙස
දනපල් ඇතු සිරස
එ ගෑ කිරි සිදුරු රස පානැස
උසින් තමහට වැඩි
කෙනකුන් නැතැයි කළ එඩි
රිවි සඳ කිරණ මැඩි
එබදු රා අසුරිදුගෙ මන් මැඩි
මොළොක් ගුණයෙන් දුරු
ගලට ද තමා සන් දැරු
උදක් සිත් පිත් දුරු
ලබා වඳවන නොයෙක් ගිරිතුරු
දික් කළහොත් මෙරට
උසුලන නැමීගෙන සිට
සක් ලකුණෙන් ලොවට
රැපෑ සක්‌විති බව ම දියතට