52 පිටුව
 

මුනි යන මඟ ගෙන පිරිබඩ
ගෙන දරුවන්ගෙන් පිරිබඩ
සල්පිල් වෙත සිට මගබඩ
වඳිති ලියෝ සිට මඟබඩ


වෙනින් වෙනම පිපි මල් සිඳ
රොනින් රොනම ගෙනවුත් සොඳ
තැනින් තැනම අඟනෝ ළද
වෙනින් වෙනම කොළෝය පුද


බුදු මහිමය දැකපුවෝ
නැත සිටිවන සිටපුවෝ
වැඳ වැද අත සැතපූවෝ
නැත බුදු බව නොපැතුවෝ


දැක මුනිරුව රස වින්දෝ
වැද වෙත සිරිපද වැන්දෝ
බව සැපතෙහි නොකිමින්දෝ
තම සිත කෙලෙසුන් සින්දෝ


අද මඳකුත් නොකිලිටියෝ
මඳ ළඳ කිරි බොන පැටියෝ
නඳ මුනිරුව දැක අටියෝ
බැඳ මුදුනත වැඳ සිටියෝ


දෙන දනට ම රට රටිනී
දැන නිසි බඩු ගැල් පිටිනී
වෙන වෙන රඟ නැව් පිටිනී
ගෙන එති සමහරු වටිනී


වෙත් පත් සුරඹුන් නොම නරඹන්නෝ
නෙත් සිත් මුනි රූ රසෙහි තබන්නෝ
ගත් ගත් කුඩ කොඩි හැම නොතබන්නෝ
යෙත් යෙත් රජසෙන් මුනිදු පුදන්නෝ


මොනවට දිලි මිණි කිරුළු පැලැන්දෝ
මෙරවට ලූ කුලගිරි සිරි වින්දෝ
මුනිදුට වැඳ මුදුනතැ'ඳිලි බැන්දෝ
පුදකොට කැටිවම යෙති නරනින්දෝ


යත් යත් සෙත් මුනි විද්දෝ තමිනේ
ගත් සිත් යුත් පුද වද්දෝ අතිනේ
කැත් කොත් යුත් පරසිද්දෝ නමිනේ
නෙත් සිත් ලත් පල ලද්දෝ එදිනේ

(c) Shilpa Sayura Foundation 2006-2017