අතින් රැගත් කුසුම් දමින්
සිතින් රැගත් මුනි සදමින්
බැතින් අයෙක් ඇති පදමින්
නිතින් මුනිදු යෙති පුදමින්
රැළී රැගෙන හෙන ගිරිපිට
දුළී ගඟුල්හැලි විලසට
තිළී අයෙක් මුනි පුදයට
පිළී සිසාරති ඉස වට
මුනි පුදයට සතොසේයා
පුද බඩු ගෙන එම සේයා
ඔද වැඩි සිදු රළ සේයා
රැස් වෙති මඟ දෙප සේයා
නැවැති ගඟක් සේ සිදු වැද
මැමැති ව සිට රජසෙන් මැද
රුවැති ලියන් සහ ළඳ සොඳ
නටති අයෙක් ඔහු රූ බැඳ
නැණැති දනෝ සිට වෙන වෙන
විමති නොවී අදහා ගෙන
කැමැති ලෙසින් කව් බැඳ ගෙන
කියති බුදුන් ගුණ තැන තැන
තද දුක් දුර ලන්නෝයා
සඟ මොක් සැප දෙන්නෝයා
මොහු ම වෙ දැයි දන්නෝයා
වැඳ වැඳ බිම හෙන්නෝයා
මුනි ගුණ දස දිග වීදේ
තුටු වූ සත සිත පෑදේ
නො අසන ලෙස අප වාදේ
කෙරෙති පසඟ තුරු නාදේ
අප මුනිදුන්ගේ අපමණ
ගුණ දැනගෙන රැගෙන සරණ
බව දුක් වේවයි නිසරණ
දමති අයෙක් පලන් බරණ
ලොලා වඩන සිත ළද රුව
පලා නොයන ලෙස සොදුරුව
කලා සපිරි සඳ අයුරුව
බලා ගෙන ම යෙති මුනි රුව