අවිවග සිට දිලෙත
පලන් අබරණ නද දෙත
දිවසෙන් නුබ සැදෙත
වුහුටු දිවමල් දෙරණ විසිරෙත
උරඟුන් පෙණ විදත
මුවන් පෙම් කෙළ කෙළ එත
ලිහිණිගණ නුබ පත
පියා විදහා සෑදි සිටගත
විතරට තම සැපත
සදා සළු බරණින් ගත
මුනි වඩන මහවත
දෙපස නරයන් අවුත් රැස්වත
කණු කටු මුල් ඉවත්
වීමෙන් සිනිදු ගුණ ගත්
මුනි වඩන මහවත්
දෙරණ බෙර ඇස සේ ම සමවත්
වසා ගෙන දිගුබිත්
සුදු නිල් වලා දිවගත්
බඳ වියනෙවි මහත්
දිනිදු රැස් මැඬ නවත්වත් වත්
මුනි දැකුමට මහත්
තුටු සිතින'වුත් වෙත පත්
සුර සෙන තම රැගත්
පසඟතුරු ගොස පවත්වත් වත්
පිපි තුරු වන මහත්
සොල්වා කුසුම් රද ගත්
සිහිලැල් ගුණ නුමුත්
සුවඳ ගෙන මඳ පවන් එත් එත්
එකලු කැරැ දිගුබිත්
රුසිරෙන් දන නුවන් ගත්
සුරඟන සිට දිමුත්
සුවඳ සුනු ගෙන විසුරුවත් වත්
බුදු සිරුරෙන් නිකුත්
රිවිරැස් මකා දිවගත්
බුදුරස් දැක දිමුත්
බලා සිටි සෙනඟ වැඳ හෙත් හෙත්