බදුවද පෙති නිසරු
සැඳැවෙලෙහි සිරි කැරැ දුරු
රත් පැහැසර සොදුරු
දිවි රත් කර දියත නිරතුරු
තරුවැළ පැහැ'පහස
කැරැ සඳ රසට අපහස
නිකුත් සුදු බුදු රස
රිදී රස සේ දිවි දස දෙස
හැම තැන සක්‌වළේ
සළා ගෙන ගෙන උතුළේ
ලොව තඹ පැහැ කෙළේ
මඳට වන් රස් කඳක් පතළේ
සොදුරු සිතුයම් පට
පටහරන සේ දිගු කොට
පබසර රැස් රුවට
දිවි ලොව තවරමින් පිට පිට
සක්‌වළ ගිරි සිරස
පැනගෙන පැතිර දස දෙස
දිවි සවනක් රස
නඟා හැලි සිය දහස් සුවහස
බෙර සිය ගොස කරත
වීණානාද නික්‌මත
වස් දඬු නද ගනුත
නො පිඹි සක් හඬ දිගත මැඩගත
මොනරුන් කෙකා දෙත
ගිජිදුන් කුංච නද දෙත
තුරඟුන් හෙසරවත
ගමන් නොව රි#යහි සක් හඬ ලත
පවනක් මග පිසිත
පවනක් සුවඳ මල් ලත
පවනක් සම කරත
වලාපොද විසිර මල් පොබයත
බුදුරැස් වැද දිගත
තුරුලිය නොයෙක් පැහැවත
දිය ගොඩ මල් පිපෙත
වරල් විදහා මසුන් ඉපිලෙත