සමඟින් මුනි පවර
පන්සිය රහත් පිරිවර
වඩිතී විසල් පුර
අසා බිම්සර නිරිදු පින්සර
වඩන සුගතිදු හට
මඟ සරහමැයි නිසි කොට
සිතා වැද වෙහෙරට
මෙසේ දැන්වී එ මුනිසදු හට
හිමිසඳ මෙපුර සිට
පස් යොදන ගඟ අතරට
එ මඟ සරහනුවට
මඳක් බලවයි කියා මුනිදුට
යොදන යොදන තරා
කරවමිනි මහ වෙහෙරා
බඹ විමනෙව් සරා
නොයෙක් පුද පෙරහරින් සපුරා
අට ඉස්බක් දෙපස
මඟ කණු කටු ද සැස පිස
තනා බෙර ඇස ලෙස
වනා සුදුවැලි අයුරු සඳරැස
පිරිකුඹු සුවහසේ
රඹතුරු සදා දෙපසේ
දණ පමණක් උසේ
පුරා මහවත මලින් සකසේ
බඳ පට වැරැල්ලෙන්
යන ලෙසට සෙවණැල්ලෙන්
දිලි රන් කෙහෙල්ලෙන්
සදා මග දිගට මෙ සියල්ලෙන්
පුද පෙරහර මහත
සිටුවා දෙපස මහවත
බැඳ මුදුනත දොහොත
මුනිදු වඩවන කලැයි දන්වත
සිත බිය නොව තොසින්
දක්වන විකුම් වෙසෙසින්
රන්ගිරි ලෙන් කුසින්
නිකුත්වන සීරජකු විලසින්