අපගේ රට මෙබදු
ඇති උවදුරෙන් මඳකුදු
අල පතෙහි දිය බිදු
ලෙසින් නො තිබෙයි කීය මැති සදු
එ මැතිදු බස් අසා
නිරිඳෝ වෙමින් සතොසා
යන ලෙස නොවලසා
තමන් අතුරෙන් රජකු විමසා
තිලෝගුරු මුනිදුට
වඩනා ලෙසට මෙ පුරට
අයදන ලෙස එවිට
යවයි බිම්සර නිරිදු නුවරට
බිම්සර රජුට සොඳ
මාහැඟි වත් පඬුරු බැඳ
මහාලී නම් ලද
නිරිදු නිරිඳෝ යැවූ එම සඳ
ඒ නිරිදු සඳ එවිට
මහසෙනඟ පිරිවර කොට
පරසිදු මගද රට
ගොසින් වැද රජගහා නුවරට
බිම්සර නර ඉසුරු
දැක රැගෙන ගිය විසිතුරු
දක්‌වා දී පඬුරු
කියා පිළිසඳර බස් පිය කරු
තම නුවරෙහි පැවැති
ලෙඩ දුක් කියා ඉක්‌බිති
මුනි වඩනා කැමැති
අසුන් දන්වා රැගෙන අනුමැති
දියහිමි මුනි වෙතට
ගොස් වේළුවන වෙහෙරට
වඩිනුව තම පුරට
කෙළේ ආරාදනා මුනිදුට
අසා එනිරිදු බස
විමසා නැණින් තතු ලෙස
වන ලෝ වැඩ පිණිස
මුනිදු දැක් වී වඩන අදහස