මහසෙන් පිරිවරා
පිරි ඇතුළු පිටි නුවරා
බිම්සර නරවරා
අවුත් වැඳ මුනි සරණ තඹරා
උන් සඳ තමන් වෙත
සදහම් දෙසා උන් සිත
කෙලෙසුන් ඇර ඉවත
ලොවට දක්වා නිවන් මහවත
නරනිදු සඳ තොසේ
මහ සෙනඟ ගෙන එම සේ
ඒ නුවර අබියෙසේ
නිවන් පුර නම් මෙයයි යන සේ
මල්වතු පළොල් සල්
පුල් විල් පොකුණු සිහිලැල්
පැන්හල් ද දන්හල්
පවුරු පළ හෙළ විසල් වාසල්
බඹ විමනෙ'ව් ඉඟිල්
ලඹ කිකිණි දැල් මුතු ලැල්
සුවිසල් මතු මහල්
තුමුල් පැහැ පහපෙළින් මනකල්
නුබ මෙන් සතා රය
දිලිහෙන නිති දිවා රැය
අයුරු අමතා රය
වේළුවන නම් කැරැ විහාරය
දුන් සඳ නිරිදු සඳ
පිළිගෙන මුනිදු මනනද
දිය පොළොව පිරිසිඳ
ගුගුරුවා මුළු පොළොව එකබඳ
දහම් වැසි වස්වා
තුන් දොස් ගිමන් නස්වා
සත සිත සතොස්වා
කුසල් බිජු පින් කෙතෙහි ඉස්වා
දහම් සක් පුම්බා
පද සුර බඹුන් සිම්බා
රැපෑ ගුණ බිමීබා
දෙසැට මිසදුටු සිදු කලම්බා