නිතොර පෙරුමන් දස
සාරසැකි කප් සුවහස
නූපුරා ඔවුන් ලෙස
කෙසේ පවසම් ද උන් ගුණ රැස
උන් රුසිරු දැක නෙත
ඔවුන් සදහම් වැද නිත
නොපහන් කෙනෙක් නැත
එයින් උන් ගුණ කියත් හිම් නැත
බුදු ගුණ මහ මුහුද
නුදුටු පරතෙර හැම සඳ
මා කී ගුණ මෙ සඳ
එයින් ගත් වැන්න එක දිය බිඳ
පොළොවෙහි පස් රඟින්
දිසි බුදුගුණය සමඟින්
ම කී ගුණ මෙ රඟින්
එයින් ගත් පස් වැන්න නියඟින්
බුදුගුණ මහ අහස
නුදුටු නිම්මක් දස දෙස
ම කී බුදුගුණ ලෙස
වැන්න මැසිපියෙනි සෙවි නුබ කුස
මුනිදුන් ගුණ මහත්
අසා නිරිඳෝ තුටු සිත්
ඔහු පුර කුල පවත්
කෙබදු දැ යි ඔහු අතින් පිළිවිත්
එසඳ කුල පරපුර
පුර ඉසුරු පිරි පිරිවර
වරඟන රුසිරු සර
සරා මෙලෙසින් කියයි මැතිවර
බඹ උපතින් සැපත
පෙර නරලොවට කර සෙත
නරක් කළ සම්මත
වීය නිරිඳෙක් මහා සම්මත
රිවිකුලෙහි මන නඳ
ඔහු දරුමුනුබුරුව සොඳ
සක්‌විති ඉසුරු ලද
උතුම් නිරිදුන්ගෙන් සැදුම් ලද