31 පිටුව
 

තම නම සිහි කළ සිතට සතුන්නේ
හැම දොම්නස්‌ දුක්‌ වැද්ද නො දෙන්නේ
හැම ලෙඩ සුවවන ලෙසට දනන්නේ
තම උපතම බෙහෙදක්‌ කොට දුන්නේ


තම වෙත දික්‌ කළ අත පෑදේයා
සිඟමනට දික්‌ කරනු නොදේයා
තම වෙත යෙමි එසවු පාදේයා
නිරයට වැද දුක්‌ විඳිනු නොදේයා


සිහිලැල් පවනින් ගිම් මඩවාලිය
මෙ සියල් ලොව පිය බස්‌ දොඩවාලිය
වියවුල් සත සිත තොස්‌ වඩවාලිය
ගන බොල් බිම මහඬින් හඬවාලිය


මුහුද ද පිපි රැස්‌ පඬෙරින් වැස්‌විය
නුබතල පිපි මල් වියනින් වැස්‌විය
මුළු ලොව සුවඳැ'ති මල් වැසි වැස්‌විය
සතර අපා සත සුවසේ වැස්‌විය


අරතුරු සිය සුබ ලකුණෙන් සිරිමත්
යටකට බවදුක්‌ එ බුදුන් බුදු වත්
වටසිය යොදුනෙක ගන ගිනිදැල් ගත්
අටමහ නරකය වියවුල් සියපත්


ගෝත ම නම් එ බුදුන් බුදුවන සඳ
පේත ලොවේ සාගිනි දුක්‌ මුල් සිඳ
බීත කරන ලෝදිය උන් මුව වැද
සීත අමා මියුරස විය එ ම සඳ


අවිගත් යමපල් දුද නන් දනවන
බලවත් කම්කටුලෙන් නන් දනවන
අසිපත් වන බියපත් නන් දනවන
සිරිගත් සුර සෙන් කෙළි නන් දනවන


සක්‌ වග වෙත මහ මෙතට සමාවට
පත් වන උන් බුදුබවට අමාවට
පත් වන නෙරි සත් මුවට දමාවට
පත් විය දිලි රත් යවට අමාවට


බියකරු ගිනිදැල් විසුරු තුමුල්වන
නිරතුරු කටු සොළොසඟුලින් තුල්වන
නිරතුරු ඔසුපත් පිහිටි ඉඹුල්වන
සුරතුරු විය සත සතොස උපුල්වන

(c) Shilpa Sayura Foundation 2006-2017