පොළමින් සියක් වට
පහන් ගිතෙලෙහි ලූ යට
කපු පුළුනක් ලෙසට
මොළොක් අත් පා ය අප මුනිදුට
පියුම් පෙති ඇතුළට
වැද සිටින කෙමි විලසට
වැද සිටි කය තුළට
පුරිස් ලකුණැත්තේය මුනිදුට
දැහිඟුලෙන් මැදළ
ඔප්ලා බහා දිවි දළ
ගුරු පිරියම් ලකළ
මුනිදු රුව රන් රුවෙවි නිකසළ
අලපත දිය ලෙසට
දැලි තෙල් රජස් හැමවිට
ගත නො රඳන ලෙසට
සියුම් සිවි ඇත්තේය මුනිදුට
දුට වෙයි පෙරේමය
දැක දැක රිති නො යේමය
මුනිදු ඇඟ රෝමය
දෛකක් එක තැන නො සිටියෙන්මය
නිල් මිණි රස් තරඟ
විහිදුවා සිටි මනරඟ
හැම ලොම් මුනිදු ඇඟ
වළලු හී උඩු බලා සිටි අඟ
නෙත නෙත පියකරුව
තිරසර ගුණෙන් ඇදුරුව
ලෙසින් මහබඹ රුව
මුදුව ඉරිදුව සිටි මුනිරුව
දෙ අත්පිට පාපිට
දෙවුරෙහි කඳෙහි නහරැ'ට
නො පැනෙන ලෙස උසට
පිරුණු මස් ඇත්තේය මුනිදුට
සීරදුගෙ හිම දඩ
පිරුණුවන් වෙයි පෙරකඩ
පෙරකඩ ද පසුකඩ
පිරුණු වන මුනිදුගේ දිය වැඩ