සක්‌වළ නුබ දෙරණ
පිරුණු දියකඳ සතරණ
කියහැකි දැන පමණ
පමණ නො කළැකි එ මුනිසදු ගුණ
මේ තැනට මේ වටී
කියත උතුරක් නුදුටී
එ ගනිති වැඳවැටී
ඒ මුනි ම ය මුළු ලොවට බුහුටී
සේ නොසේ කම්පල
ඈ ඇමතන්හි ඇමකල
පවතී නුවණ බල
එ මුනි දසබලය ඉන් එම්බල
කිසිවකුට ලොව ඇති
දුකක් නො කරනු මිස නිති
එ මුනිසඳ රුව ඇති
ඇතුන් කෙළසුවහසෙක බල ඇති
දිවකුරු බුදුන් කල
පටන් වන තෙක් දසබල
මෙ සතර අසෙකි කල
නො කෙළෙ කිසි උපතකුත් නිස්‌පල
දිසි ඇමතැන අහස
පමණ කළහැකි තුරු රැස
මුනිසදු පෙර දවස
පමණ නැත යදියන්ට දුන් ඇස
පරයා පොළොව පස්
දුන් යදියන්ට ඇඟ මස්
ඔහු දනට දුන් ඉස්
වීය මහමෙරගිරිසිරට උස්
දිවකුරු බුදු කෙරේ
පටන් බුදුවන අතරේ
දුන් ලෙයට සිරුරේ
මඳය දියකඳ සතර සයුරේ
අප මුනි සස කලේ
දුන් දනට නොව සසලේ
දෙවිදු ඇඳි සසලේ
දැනුත් පවතීය සිසි මඬලේ