21 පිටුව
 

බඹලොව ගොස්‌ ඉඳිති
කප් සිය දහස්‌ නරඹති
රිවිසඳ පිරිමදිති
මෙසේ ඔහු සඟගණ ද වැජඹෙති


සක්‌වළ ගිරි සුනෙර
දෙරණ සොල්වා එකවර
කරන මහපෙළහර
පවර සඟගණය මුනි පිරිවර


මෙ සසර පෙර දවස
නොයෙක්‌ කප් කෙළ සුවහස
කඳ පිළිවෙළ වෙසෙස
දකින සඟපිරිවරය නිසි ලෙස


ලක්‌ තබතත් දෙරණ
පස්‌ මදය යන අපමණ
ලැබගෙන මහ නුවණ
එ මුනි වෙත සිටිති මහසඟ ගණ


මුළු ලොව ඇම දෙසේ
දකින සත සිත සිත සේ
ලැබගෙන දිව ඇසේ
සිටිති මහසඟහු ඔහු දෙපසේ


සුර බඹලොව සතන
කියන බස්‌ හැම තැන කැන
දිවකන් ලැබ අසන
ඒ මුනි වෙත සඟගණය වැජඹෙන


කෙලෙසුන් දුරැ'ර සිත
විදසුන් මඟින් ලැබ සෙත
පින්කෙත් වන දියත
පසිදු සඟගණය මුනිසදු වෙත


පහදා තමන් සිත
මුදුනැ'ඳිලි බැඳ වැඳි සත
ලන සග මොක්‌ සැපත
ඒ මුනි වෙත මෙවැනි සඟගණ ඇත


මහබඹහු මුනිදුට
සේසත් නඟති මුදුනට
ඒ මුනිසදු පුදයට
පිඹිති සක්‌ සක්‌ දෙවින්දෝ සිට

(c) Shilpa Sayura Foundation 2006-2017