සඳ සෙ තරු වැළ මැද
බබළන තවුස් ගණ මැද
බුදු කෙනෙකැ'ත මෙසද
සජය බේලට්‌ටිපුත් නම් ලද
ලොව නරයන් කරන
මහපුද ලබන නිතියෙන
බුදු කෙනෙකැ'ත නමින
පසිදු මක්‌කලිගෝසාල යන
මෙකියන බුදුන් වැඳ
කළහොත් නිති මහත් පුද
හිමිසඳ මෙ පුර බඳ
කීය උවදුරු දුරුවෙතී සොඳ
ජඩ නුවටුන් නිසා
බුදුනැ'යි නමක් කලසා
ඔහු කී එ බස'සා
කියයි මැතිඳෙක් සෙබෙහි මෙලෙසා
පව් පින් නැතැයි යන
නුවටෝය මූ හැමදෙන
ලොවට මුන්ගෙන් වන
සෙතැ'ත සිසිලස ලැබෙයි ගින්නෙන
පව් පින් දෙක ම නැත
රකිනා තපස් නම් නැත
ඔවුන් බුදුනැ'යි යෙත
මෙසේ අනුවණ කමෙක් නම් නැත
මුන්ගෙන් වෙතී සෙත
කරන පුද මේ ලෙව් සත
වැලි මලු ලා සතත
මඩින වැනි තෙල් පතා තෙලියත
බොරුවෙන් වඩන බඩ
එබැවින් දුරැර මුන් ජඩ
දත් සිවු වේ නොකඩ
ගෙනැ'ර බමුණන් කරව ලෝ වැඩ
ගහකැන් වළඳවා
ගිනිදෙවියාට පුදවා
යාග කළ සොඳවා
ඒය සෙත දුක් මුලින් මුදවා