විසිහතරවන කොටස
 


 

බිසව පලවැල නෙලාගෙන අවුත් දරුවන් විචාරීම

සොඳුරු මෙහෙසි පළවැල ගෙණ එන්නට වත්ත ලා-අද
දෙදරු නොදැකමැ නසිතැයි දෙවියෝ සලකලා
නපුරු සිංහ දිවි වග වෙස්‌ගෙණ මග අවුර ලා-බොහො
අඳුරු වැටෙන තුරු එන්ට නුඳුන්නේය පන්සලා

පේර දොඩම් අඹ පලතුරුවල ගෙඩි නොපෙනු නා-ආ
පාර බලාගනු බැරිව අකුල්වල පැටලුනා
ගෝර පිඹුරු කැල පිඹ පිඹ එන මඟ අවෙදි නා-අව
තාර නිසා රැ වෙනතුරු එන්නට නොලැබුනා

කිසිකල අද වගෙ විපතක්‌ මට සිදුවුනෙ නැති-අද
පලවැල නොම ලැබ දරුවොත් බඩගින්නේ ඇතී
සිතතුල හටගත් සොකෙන් තැවෙමින් නොනැවතී-ගොස්‌
පය මුල නිරිඳුගෙ වැටිලා මෙලෙසින් පවසතී

හිමි සඳ වෙන දින දරුවෝ මා එන මග බලා-සිට
හොද හොද පලවැල ඉල්ලා කති රස බල බලා
ගෙට වැද සැතපෙද නොදනිමි බඩගිනි වැඩි වෙලා-කිම
නැත අද දරුවන් කොයි දැයි වැලපී ඇසු කලා

ඉතා උදය ගොස්‌ පලවැල නෙලුමට වන තුලා-දැන්
ඉතා හොදයි තෙපි දරුවන් සිහිවී ආ වෙලා
ගොතා උපා බස්‌ පවසා මෙහෙසිය රවටා ලා-යලි
කතා නැතුව උන්නේ වෙසතුරු හිමි බිම බලා

නෙතා සදිසි දරු නැති දුක මදිවට දෙයිය නේ-හිමි
කතා නැතුව ඉන්නා දුක ඉවසනු බැරි අනේ
පුතා වරෙන් දුවේ කිරි බීපන් යයි කිය මිනේ-හිමි
ගතා වැදී රෑ විලාප කිව්වේ මෙලෙසිනේ

ජයතුරු පුර විපුලා - එරජකුල රිසිසේ සැප විඳලා
හිමි තපසට ලොබලා - එනව දැක, ආවෙමි පසු නොබලා
පිය ලග සිටුවා ලා - ගියෙමි, මම, දරු දෙන්නා මෙකලා
ඇවිදින් බැලුව කලා - අපොයි අද, නැත කොයිබටද වෙලා

සෙල්ලමේවත් ගියෙ දෝ - නොදැන මග, රෑවී වල් උනිදෝ
මුත්තනු මහ නිරිදෝ - ඇවිත් එහි, එක්‌කම අද ගියෙදෝ
කිරිදෙන්නේ කව්දෝ - තුරුල්වී, ඉන්නේ කා ලඟදෝ
දෙවියනි මක්‌ උනිදෝ - අනෙ මගෙ, දරු දෙන්නා කොයිදෝ

සීනය ගැනම හිතේ - දුකින් අද සිටියෙමි එවන ගතේ
ජාලිය කුමරු පුතේ - වරෙන් මෙහි, බඩගිනි බොහොම ඇතේ
පළවැල බොහොම ඇතේ - කැමති දේ අරගන් විත් ම වෙතේ
නාවොත් දැන්ම වෙතේ - මගෙ පණ, යනවාමයි නියතේ

රෑ තුරුලුව බැති නා - බොමින් කිරි, සුරතල් බස්‌ දොඩනා
මා එනතුරු දෙදෙනා - එකතු වී පෙම් කෙලිමින් සිටිනා
දූ මගේ ක්‍රිෂ්ණ ජිනා - නැතුව අද සැනසෙමි කොයි ලෙසිනා
මා තනි කර ලමි නා - ගියේ කොයි, දෝ උඹලා දෙදෙනා

එක පඳුරක්‌ ගානේ - එවන මැද, බිය සැක දුරලානේ
නැතුවම හිත වානෙ - ඇවිද රෑ, සැට ගව්වක්‌ මානේ
අඩමින් හැම තා නේ - දෙදරුවන්, සොයමින් හඳපානේ
ඇවිදින් මෙලෙසා නේ - නිරිඳු වැඳ, පැවසුවේ බස්‌ දීනේ

(c) Shilpa Sayura Foundation 2006-2017