රිවිසඳහු ද තොසේ
යන මඟ නො යති පෙරසේ
එ සුරන් වත එසේ
නැතිව වැසි සස් කලට නො පැසේ
එක ගමක ද වැසී
වසිතත් සමව නො වසී
ඉන් විසමව පැසී
තුබූ පස්වග ඉතා නොරිසී
ඒ අහර කන බොන
දනහට එයින් වෙන වෙන
රෝදුක් වන බැවින
ලොවට වැඩ අවැඩ නිරිදුන්ගෙන
එබැවින් අප ලොවට
පෙර රජ සිරිත් වෙන් කොට
කළ කී දෙය තොපට
දැනෙත කියවයි කිවුය සිහි කොට
නුවරෝ එබසසා
නිරිදුන් නුගුණ විමසා
නැතියෙන් කිසි දොසා
මෙසේ පවසති ඔවුන් යසසා
සව් සතරෙහි පුරුදු
මහසත් ගුණෙන් පරසිදු
මහ පින් ඇති මෙබදු
උපන් නිසි කැත් කුලෙන් පිරිසිදු
දැන කළ ගුණ වෙසෙස
නුවණැ'ති දනන් කී ලෙස
පවතින ඇම දව ස
දුරින් දුරු කොට වසන බොරු බස
මෙරමා වැඩ කැමැති
කීකරු ඇමැත්තන් ඇති
නො හැර ම රද නිති
කැමැති දෙය සිදුකරන දැනුමැති
නැගෙන රිවි විලසින්
දින දින උදය සිරසින්
පෙර නිරිදුන් විසින්
පැවැති ලෙසට ම පැවැති වෙසෙසින්