දැඩි දුබ්බික් දුකෙකි
කිසි වෙදකමක් නො කළැකි
සැඬ රෝදුක් බියෙකි
යකුන්ගෙන් වන මහත් වනසෙකි
කෙත් වත් විප තවි
ගං හෝ දිය ගිය තැවි
වැසි නැති විය තවි
නොයෙක් තුරුලිය දා පති තවි
තොලු ගානා තණක්
දිය තලු තෙමන පමණක්
නැතිව තුරු සෙවණක්
දුකෙකි සිවුපාවුන්ට දියුණක්
පෙර සුරඟනන් වැනි
අඟනෝ සොදුරු රුසිරෙනි
මස් ලේ නැති බැවිනි
උදක් ගෙයි ගෙයි යකින්නන් වැනි
නොයෙක් උක් මි රස
ගිය වැනි බියෙන් පර දෙස
සුලබ පස්‌ගෝරස
දුලබ විය මෙහි ඇතැයි යන බස
පෙර සත සිතලෙසිනි
සෙවුනා මනා සුවඳිනි
කපුරු කස්‌තුරු දැනි
මෙ පුර නපුරැයි දමා ගිය වැනි
නැති වත් සිල් අටඟ
සුවඳ ගෑමෙක් නැත ඇඟ
දුර ලිය ලිය සසඟ
පිහිටි අය සේ ම බඹසර මඟ
දූසිරි මඟ නැවැති
සිල්වත් දනන් සේ නිති
කවි නළු රස නැවැති
නටන නටවන අයෙක් නම් නැති
දැනෙන් එකඟ සිත
වූ මෙන් කෙළි සිනා නැත
නො සිඟන කෙනෙක් නැත
පිහිටි අය මෙන් දුහඟ පිළිවෙත