බොන මෙන් මුවෙන් ගෙන
ඇතු සොඬිනු කාගෙත් පැන
ලෝවැස්‌සන් පොවන
තමා ලත් සැපත'මා නිතියෙන
මල් නො ගෙන පල දෙන
දිඹුල් තුරු සේ ඇම කැන
කිසි කරුණක් නො ගෙන
දනන් සුවපත් කෙරෙති නිතියෙන
සඟිනි, තොප පුහුදුන්
නුදුටුවෙන් සඟ සුරිදුන්
බලවයි තෙලෙ රදුන්
බුදුන් වදහළ බැවින් සෙතදුන්
සැබවින් තිදස පුර
සුරසෙන් ලෙසින් මනහර
තුටු කළ ලොව නො හැර
කෙසේ වනමු ද ඔවුන් සිරිසර
සුර සිරි මෙන් නොමඳ
රජ සිරි යෙහෙන් විඳ විඳ
ඔවු නොවුන් පෙම් බැඳ
මෙසේ එ රජුන් රජ කරන සඳ
දෙවියන් ගතෙහි දිලී
දිසි මෙන් ජරා විලි පිලී
එ නුවර පවා කලී
කලෙක දුබ්බික් දුකෙන් විය කලී
නැත නිත්ත වන්නේ
සව් සැප ලොව සතුන්නේ
පානෙ'ව් මෙ තැන්නේ
රෝග බියකුත් අවුත් වන්නේ
ඉසුරෙන් තම නුවර
සරියයි සිතින් බැඳ වෙර
දුන් මෙන් කුවෙර වර
වන්නු යක් සෙන් අවුත් එ නුවර
නුවරෙහි විසාලා
යම් කිසිවකු තබාලා
යමු දැ යි සිතාලා
මරුගෙ සෙන් වන් වැනි විසාලා