සක බිම පෙරළෙමින්
ගැල බඩු නිසල කෙරෙමින්
පවතින මෙන් නොමින්
තුමු දුක් විදිති සත රකිමින්
රොන් ඇරගෙන සෙමින්
යන බිඟු ලෙසින් කුසුමින්
ලොවට දුක් නො දෙමින්
ගනිති අයපඩුරු පෙර නියමින්
ලුව ද සිදු පෙදෙසේ
දිය නො ගෙන සිටි නැවසේ
දන නො ගෙන ම තොසේ
සිටිති දනවත් දනන් සිත සේ
පලගත් අතු නසා
පල කන්නවුන් විලසා
දන ගැනුමක් නිසා
දහම් නො නසති දනන් වනසා
සවනින් අසන බස
නුවනින් අසව යන ලෙස
කෙරෙති තමා බස
යමක් නො යොදති මිසක් නිසි ලෙස
දෙන'තුල් සේ හිසට
සතින් වලකන වැස්සට
යෙදෙන මහතුන්හට
දෙයක් නො යොදති හීනයන්හට
පර අඟනන් දෙසේ
බලත ලෝවැඩ පිණිසේ
ගිම් රිවිමඬල සේ
විඳිති දුක් සරු නො කොට සැප සේ
පුතු වෙත සෙනෙහසේ
පසව ඉවසන මවසේ
ලොව රැකුම'දහසේ
විඳිති දුක් සරු නො කොට සැපසේ
බබළන තරු වසා
වලා ලන මරු විලසා
අනුන් ගුණ කෙලෙසා
නුගුණ නො ම පතුරුවති වෙසෙසා