සත් සිය දහස් සත්
සත් නිරනිහු සමගොත්
සත් වග කෙරෙහි මෙත්
යුත් ව පවතිත් සිතින් මැදහත්
දුසිරිත සිත නැවැති
රද නීති දත් ගුණ ඇති
මැදහත් ලෙස සැවති
එ රජ ලිච්ඡවි නිරිදු නම් වෙති
කුල දෙටුවන් පැවැති
සෙබෙහි තෙද'ණින් නො දිලෙති
වෙන්වූ සඳ දිලෙති
රසින් මුසු නුමුසු රන් සේ වෙති
නො බලා වරදතන්
නො නැමි බසට මහතන්
විලසින් සිය සුතන්
සතන් රකිනුය බලා ඇමතන්
නො මකා කුල සිරිත්
නො තබා ම දෙන දන්වත්
නො වඩා අයබදුත්
නැගු සිත්සේ ම දිය දියකොත්
ගත උන් සබාමය
බස උන්ගේ සබාමය
ඉසුරෙන් සබාමය
සබා නම් උන් උන් සබාමය
අවාබිය ඇවුරූ
සිත් සත්ගුණෙන් සපිරූ
දිග'බිත කිවියරූ
ඔවුන් ගුණ සිතුවමින් තැවරූ
රුන්රූ සදි සියහ
දැක දැක නො යන සියහ
කන්කලු සුබැ සියහ
ඔහු ම නරදෙවි නමට නිසියහ
රුසිරෙන් ලොව ගරූ
අයුරු සුරිදුන් පිළිරූ
දස රජදම් දැරූ
ඔවුන් සරි වෙති මෙ ලොව කවුරූ
