විසිතුන්වන කොටස
 


 

කුමාරවරු විලාප කියමින් බමුණු සමග ගමන් කිරීම

පල වැලා ගෙන දෙමි බොලා අද මෙහි බලා ඉඳුවයි කියා
ගිය කලා මව එය බලා දරුවන් ලොලා දන්දුනි පියා
ගැට ලලා අත් එක ට ලා බැඳ බලා බලා සිටියද පියා
තල තලා පිට පිල පලා ලේ හෙල හෙලා අරගෙන ගියා

ඇතිකලේ නෙක්‌ සැප දිදී අප මෙතරම් දුක්‌ දෙන්ටදෝ
ආකලේ අම්මා අනේ අප කොයි ලෙසින් සැනසේවිදෝ
මහකැලේ මැද මේ යකා ගෙනයන්නේ දැන් අපි කන්ටදෝ
රජ කුලේ කත් ඉපදිලා පෙර කල පවක්‌ පල දුන්නදෝ

එබි එබී අම්මා එතෙයි අපි බල බලා උන්නෙමු මගා
කිරි බිබී අම්මගෙ තුරුල්ලේ ඉන්නෙමි මම සිතු රගා
කිරිනොබී ඇග ගැහෙනවා බොහො ගල් මුලුත් ඇත මේම ගා
කිරි නොබී මට යන්ට බෑ අයියේ කියා ඇඩුවා නගා

ඉපලිනේ ගසු ගැසූ තැනේ පැලීලා අනේ ලේ ගලනවා
බනිමිනේ තොල් විකමිනේ රුදු බැල්මෙනේ බය කරනවා
නැති වුනේ අප වෙත සෙනේ කිම දොස අනේ නොම දැනෙනවා
බලමිනේ අප දුක අනේ පිය නිරිඳුනේ කිම සිටිනවා

දයි අනේ හද ගින්දරෙන් අම්මා දකින්ටත් නෑ මෙදා
දෙයියනේ මේ දුක නොදන්නෙද නෑ බුරුල් පියගේ හදා
ලෙයිසෙනේ මගෙ නංගියේ දුක බෑ බලා ඉන්නට මෙදා
ඇයි අනේ පිය නිරිඳුනේ ඉන්නේ බලා මේ දුක්‌ කඳා

දෙන්නෙ නම් නංගි මෙසේ ගෙනයන්ට දාසියෙක්‌ රගා
පින් උතුම් අපගේ කුලේටත් වෙන්නේ අයියෝ බෝ නිගා
නංගි නම් දෙන්නට එපා බැරි යන්නටත් ගල්මුල් මගා
සන්තොසින් බුදුවෙන්න මා දන් දෙන්න ඉන්දෙද්දි නගා

මේ වනේ වැසි සාවුනේ මුව ගෝනුනේ ගව ගොල්ලනේ
මොනරුනේ සඳ කිඳුරනේ සැළලිහිණනේ වග වලසුනේ
කරමිනේ සෙල්ලම් අනේ අපි එක තැනේ විසුවෙමු සෙනේ
අද දිනේ යන්නට උනේ දුක්‌ විදිමිනේ තොප හරිමිනේ

කොයිතරම් ආලේ සිතින් රස හර දෙමින් කියමින් පුතේ
පියවරුන් සිටිනේ නමුත් මද දොසයෙන් මග හැර යතේ
හැම අතින් අම්මාටමයි දරුවන් ගැනත් කැක්‌කුම හිතේ
සිටි වෙනම අම්මා දැන් අප මූට නම් දෙන්නේ නැතේ

කට දෙකොනින්නේ කෙල වැගිරෙන්නේ රවා බලන්නේ යකු ලෙසිනා
ගැසූ පහරින් නේ පිට පැලෙමින්නේ ලේ වැගිරෙන්නේ සියලු තැනා
පිය නිරිඳුන්නේ ළය ගල වැන්නේ අප දන් දුන්නේ තුටු සිතිනා
නංගි අඬන්නේ මොටොද ඉතින්නේ යමු අපි දෙන්නේ එක සිතිනා

(c) Shilpa Sayura Foundation 2006-2017